පුත්‌තමංස සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.3

පුත්‌තමංස සූත්‍රය

63 සැවැත්නුවර

මහණෙනි, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිස ද ඉපදීම අපේක්ෂා කරණ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාර ය, දෙවෙනි වූ ස්පර්ශාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඥානාහාර ය යි. මහණෙනි, මේ සිවු ආහාර උපන් සත්ත්වයන්ගේ ස්ථිතිය පිණිසත් ඉපදීම අපේක්ෂා කරනවුන්ට අනුග්‍රහ පිණිසත් වේ.

මහණෙනි, කබලීකාර ආහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම් සේ අඹුසැමි දෙදෙනෙක් මද වූ මාර්ගොපකරණයක් ගෙන කතරමගට පිළිපන්නාහු ද, ඔවුනට ප්‍රිය මනාප වූ එක් පුතෙක් වන්නේ ය. මහණෙනි, එකල්හි කතරමගට පිළිපන් ඒ දෙමහල්ලන්ගේ මඳ වූ යම් මාර්ගොපකරණයෙක් වී නම් එය ගෙවීමට නිමාවට යන්නේ ය. ඔවුන් විසින් තරණය නොකරණ ලද කතරමංශේෂයෙක් ද වන්නේ ය. මහණෙනි, එකල්හි ඒ දෙමහල්ලන්ට මෙබඳු අදහසෙක් වන්නේ ය. ‘අපගේ මඳ වූ යම් මගවියදමෙක් වී නම් එය ගෙවුනේ ය. අවසන් වූයේ ය. තරණය නො කරණ ලද ඉතිරි වූ මේ කතරමගෙක් ද ඇත. අපි ප්‍රියමනාප වූ මේ එකම පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් අපි දෙදෙනා ම ඉතිරි කතරමග එතර කරන්නමෝ නම් යෙහෙකි. (එකල්හි) අපි සියලු තිදෙන ම නො වැනසෙන්නමෝ’ යි. මහණෙනි, ඉක්බිති ඒ දෙමහල්ලෝ ප්‍රියමනාප වූ ඒ එක් පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් මෙසේ ඉතිරි කතරමග තරණය කරන්නාහ. ඔහු පුතුමස් ද කන්නාහු ය. ‘එක ම පුත කොහි ද? එක ම පුත කොහි දැ?’යි ලෙහි ද පහර දෙන්නාහු ය.

මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඔහු ක්‍රීඩා පිණිස හෝ ආහාර ගන්නාහු ද? මදය පිණිස හෝ ආහාර ගන්නාහු ද? අලඞ්කාරය පිණිස හෝ ආහාර ගන්නාහු ද? සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහු ද? වහන්ස, මේ නොවේ ම ය. මහණෙනි, ඔහු කතරමග තරණය කිරීම පිණිස ම ආහාර ගන්නාහු නො වෙද්ද? වහන්ස, එසේ ය. මහණෙනි, කබලීකාර ආහාරය මෙසේ ම දතයුතු යයි මම කියමි.

මහණෙනි, කබලීකාර ආහාරය පිරිසිඳ දත් කල්හි පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත්තේ වෙයි. පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් යුක්ත වූ ආර්යශ්‍රාවක තෙමේ නැවත මෙලොවට එන්නේ නම් ඒ සංයෝජනය නැත්තේය.

මහණෙනි, ස්පර්ශාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ උදුළසම් ඇති දෙනක් ඉදින් බිත්තියක් ඇසුරු කොට සිටින්නී නම් බිත්තිය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් රුකක් ඇසුරු කොට සිටින්නී නම් රුක ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් ජලයක් ඇසුරු කොට සිටින්නී නම් ජලය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් අහස ඇසුරු කොට සිටින්නී නම් අහස ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, උදුළසම් ඇති ඒ දෙන යමක් යමක් ඇසුරු කොට සිටින්නී නම් ඒ ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, ස්පර්ශාහාරය මෙසෙයින් ම දතයුත්තේ යයි මම කියමි.

මහණෙනි, ස්පර්ශාහාරය පරිඥාත කල්හි වේදනාත්‍රය පරිඥාත වේ. වේදනාත්‍රය පරිඥාත කල්හි ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.

මහණෙනි, මනෝසඤ්චේතනාහාරය කෙසේ දත යුත්තේද යත්: මහණෙනි, යම්සේ පුරුෂප්‍රමාණයට අධික වූ පහ වූ ගිනිසිළු ඇති, පහ වූ දුම් ඇති, අඟුරෙන් පිරුණු අඟුරුවළක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නොමැරෙණු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරණ පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන වෙන අතින් ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. මහණෙනි, එකල්හි ඒ පුරුෂයාගේ සිතිවිල්ල දුර ම වන්නේ ය. පැතුම දුර ම වන්නේ ය. අපේක්‍ෂාව දුර ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නෙමි”යි ඒ පුරුෂයා විසින් දන්නා ලද්දේ ම වෙයි, එහෙයිනි. මහණෙනි, මනෝසඤ්චේතනාහාරය මෙසේ ම දතයුත්තේ යැ යි මම කියමි.

මහණෙනි, මනෝසඤ්චේතනාහාරය පරිඥාත කල්හි තෘෂ්ණාත්‍රය පරිඥාත වේ. තෘෂ්ණාත්‍රය පරිඥාත කල්හි ආර්යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.

මහණෙනි, විඥානාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ වරදකරු වූ සොරකු ගෙන “දේවයන් වහන්ස, මේ ඔබට වරද කරණ සොරෙකි. යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම මොහුට පණවනු මැනැවැ”යි රජහට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ මොහුට “පින්වත්නි, යවු, පෙරවරු අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු”යි මෙසේ කියන්නේ ය. පෙරවරු අඩයටි සියයකින් ඒ මොහු පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ මද්ද්දහනෙහි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “පින්වත්නි, යවු, මද්දහනෙහි අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු මද්දහනෙහි අඩයටි සියයකින් පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ සවස්හි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “එම්බල පින්වත්නි, යවු, සවස්හි ඒ පුරුෂයා අඩයටි සියයකින් පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු සවස්හි අඩයටි සියයකින් පෙළන්නාහු ය.මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඒ පුරුෂ දවල් කාලයෙහි අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳින්නේ ද? යත්: මහණෙනි, එක් අඩයටියකිනුදු පෙළනු ලබන්නේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ ය. අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ කියනු ම කවරේ ද? මහණෙනි, විඥානාහාරය මෙසේ ම දතයුත්තේ ය යි මම කියමි.

මහණෙනි, විඥානාහාරය පරිඥාත කල්හි නාමරූප පරිඥාත වේ. නාමරූප පරිඥාත කල්හි ආර්යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.

 

 

 

 තෙවැනි වූ පුත්‌තමංස සූත්‍රය නිමියේය.