සම්‌මසන සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.6

 සම්‌මසන සූත්‍රය

 

66. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු දනව්වෙහි කල්මාසදම්‍ය නම් කුරුන්ගේ නියමගම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු “පින්වත් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, තෙපි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කරන්නහු දැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙමි”යි මෙය සැළ කළේ ය. මහණ, තෙපි ඒ කෙසේ නම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කරවු දැ යි. එකල්හි ඒ මහණ තෙමේ ප්‍රකාශ කෙළේ ය. යම් සේ ඒ මහණ පැවසී ද, ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු නො කෙළේ ය.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “භාග්‍යවතුන් වහන්සේ යම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනයක් වදාරණ සේක් නම්: භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය යි. සුගතයන් වහන්ස, මේ ඊට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ”යි. ආනන්ද, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, මෙහි මහණ තෙමේ සම්මර්ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක උපධි නිදාන කොට ඇත්තේ ය. උපධි සමුදය කොට ඇත්තේ ය. උපධි ජාති කොට ඇත්තේ ය. උපධි ප්‍රභව කොට ඇත්තේ ය. උපධි ඇති කල්හි ජරාමරණ වෙයි. උපධි නැති කල්හි ජරාමරණ නො වේ ය යි, මෙසේ දැන ගනී. හෙතෙමේ ජරාමරණත් දැන ගනී. ජරාමරණ සමුදයත් දැන ගනී. ජරාමරණ නිරෝධයත් දැන ගනී. ජරාමරණ නිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම අනුව හැසිරෙන සුලු වූයේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.

යලි මතු ද සම්මර්ශනය කරන්නේ මේ උපධිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදයය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි උපධි වේ ද කුමක් නැති කල්හි උපධි නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්ශනය කරන්නේ ‘උපධිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ ය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ ය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ ය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ ය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නො වේ’ යයි මෙසේ දැන ගනී. හෙතෙමේ උපධියත් දැන ගනී. උපධි සමුදයත් දැන ගනී. උපධි නිරෝධයත් දැන ගනී. උපධි නිරෝධයට සරුප් ව යනසුලු යම් පිළිවෙතක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම් අනුව හැසිරෙන්නේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස උපධි නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.

යලි මතු ද සම්මර්ශනය කරන්නේ මේ තෘෂ්ණාව කොහි උපදනේ උපදී ද, කොහි පවත්නේ පවතී දැ යි, අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්ශනය කරන්නේ ‘ලොව පියසැහැවි ඇති මිහිරිසැහැවි ඇති යම් කිසිවෙක් වේ ද, මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පුනපුනා පැවතුම් විසින් පිහිටනුයේ පිහිටයි. ලොව කිමෙක් පියසැහැවි ඇත්තේ ද, මිහිරිසැහැවි ඇත්තේ ද? ලොව ඇස පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.

ලෙව්හි කණ පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි … ලොව නැහැය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව දිව පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව කය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව සිත පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.

මහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දැක්කාහු ද, සුඛවශයෙන් දැක්කාහු ද, ආත්ම වශයෙන් දැක්කාහු ද, නීරෝගභාව වශයෙන් දැක්කාහු ද, නිර්භය වශයෙන් දැක්කාහු ද, ඔහු තණ්හාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව වැඩූහු ද ඔහු උපධි (=පඤ්චස්කන්ධය) වැඩූහ. යම් කෙනෙක් උපධි වැඩූහු ද, ඔහු දුක වැඩූහ. යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. (සියලු) දුකෙන් නො මිදුනහ යි කියමි.

මහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛවශයෙන් දක්නාහු ද, ආත්ම වශයෙන් දක්නාහු ද, ආරෝග්‍ය වශයෙන් දක්නාහු ද, නිර්භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව වඩන්නාහු ද, ඔහු උපධි වඩන්නාහු ය. යම් කෙනෙක් උපධි වඩන්නාහු ද, ඔහු දුක වඩන්නාහු ය. යම් කෙනෙක් දුක වඩන්නාහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙන්නාහු ය. සියලු දුකෙන් නො මිදෙන්නාහු ය යි කියමි.

මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දකිත් ද, සුඛ වශයෙන් දකිත් ද, ආත්ම වශයෙන් දකිත් ද, ආරෝග්‍ය වශයෙන් දකිත් ද, ක්ෂේම වශයෙන් දකිත් ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව වඩද්ද, ඔහු උපධි වඩත්. යම් කෙනෙක් උපධි වඩද්ද, ඔහු දුක වඩත්. යම් කෙනෙක් දුක වඩද්ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.

මහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳින් යුත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම (රා බඳුන) වර්ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙන් ද සුවඳින් ද රසයෙන් ද රුස්නේ ය. එහෙත් බී ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට පමිණේහී ය. හෙතෙමේ ඒ ඔඩම වහා නො විමසා බොන්නේ ය. නො බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නේ ය.

මහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දුටුහු ද, සුඛ වශයෙන් දුටුහු ද, ආත්ම වශයෙන් දුටුහු ද, ආරෝග්‍ය වශයෙන් දුටුහු ද, ක්ෂේම වශයෙන් දුටුහු ද, ඔහු තෘෂ්ණාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. දුකින් නො මිදුනහ යි කියමි.

මහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛ වශයෙන් ... ආත්ම වශයෙන් ... ආරෝග්‍ය වශයෙන් ... ක්ෂේම වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වඩන්නාහු ද ඔහු ... (සියලු) දුකින් නො මිදෙන්නාහ යි කියමි.

මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය නිත්‍ය වශයෙන් දකිද්ද, සුඛ වශයෙන් දකිද්ද, ආත්ම වශයෙන් දකිද්ද, ආරෝග්‍ය වශයෙන් දකිද්ද, ක්ෂේම වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව [වඩත් ද,] … ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.

මහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දුටුහු ද, දුක් වශයෙන් දුටුහු ද, අනාත්ම වශයෙන් දුටුහු ද, රෝග වශයෙන් දුටුහු ද, භය වශයෙන් දුටුහු ද, ඔහු තණ්හාව හළහ. යම් කෙනෙක් තෘෂ්ණාව හළහු ද, ඔහු උපධි හළහ. යම් කෙනෙක් උපධි හළහු ද, ඔහු දුක හළහ. යම් කෙනෙක් දුක හළහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදුනහ. (සියලු) දුකෙන් මිදුනහ යි කියමි.

මහණෙනි, අනාගත කාලයෙහිදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද, දුක් වශයෙන් දක්නාහු ද, අනාත්ම වශයෙන් දක්නාහු ද, රෝග වශයෙන් දක්නාහු ද, භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කරන්නාහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කරන්නාහු ද, ද ඔහු දුකින් මිදෙන්නාහ යි කියමි.

මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, බිය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙත් ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙත් ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත් ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.

මහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳවත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගීමේ පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම වර්ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙනුදු සුවඳිනුදු රසිනුදු රුස්නේ ය. පානය කොට (සිටියේ) ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පමිණේහි”යි. මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙසේ අදහස් වන්නේ ය: “මාගේ මේ සුරාපවස පැනින් හෝ දුරු කළ හෙයි. දිපෙරලි දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණු සහිත අත්සුණු දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණුකාඩි දියෙන් හෝ දුරු කළ හෙයි. යමෙක් මට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ නම් එය මම නො ම බොන්නෙමි”යි. හෙතෙමේ ඒ ඔඩම විමසා නො බොන්නේ ය, බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ නො පැමිණෙන්නේ ය.

මහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ ද, එය අනිත්‍ය වශයෙන් දැක්කාහු ද, දුක් වශයෙන් දැක්කාහු ද, අනාත්ම වශයෙන් දැක්කාහු ද, රෝග වශයෙන් දැක්කාහු ද, බිය වශයෙන් දැක්කාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කළහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කළාහු ද, ඔහු උපධි දුරු කළහ. යම් කෙනෙක් උපධි කළාහු ද, ඔහු දුක දුරු කළාහු ය. යම් කෙනෙක් දුක දුරු කළාහු ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දෝමනසෙන් උපායාසයෙන් මිදුනාහු ය. දුකෙන් මිදුනාහු යි කියමි.

මහණෙනි, අනාගත කාලයෙහි දු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ ද එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද ... ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙන්නාහු ය. දුකෙන් මිදෙන්නාහු ය යි කියමි.

මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, භය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙද්ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙද්ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙද්ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.

  

සයවැනි වූ සම්‌මසන සූත්‍රය නිමියේය.