ඔවාද සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.6

 ඔවාද සූත්‍රය

   

289. රජගහනුවර-

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “කස්සප, භික්ෂූන්ට අවවාද කරව. කස්සප, භික්ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු)” යි.

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු නො කිකරුහ. නො කිකරු බව කරණ දැයින් යුත්තයහ. නො ඉවසන්නෝ ය, අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, මෙහි මම ආනන්දගේ සද්ධිවිහාරික වූ භණඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද “මහණ, එව, කවරෙක් (ධර්මකථාවෙහි) ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට කියන්නේද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියනුවන් දිටිමි යි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ, මහණ, එව, තෝ මාගේ වචනයෙන් “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ” යි ආනන්දගේ සද්ධි විහාරික වූ භණ්ඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද කැඳව” යි එක්තරා මහණකු ඇමතූ සේක. වහන්ස, එසේ යයි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ”යි මෙය කී ය. “ඇවැත්නි, එසේ ය” යි ඒ භික්ෂූහු ඒ මහණහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සැබෑ ද තෙපි “මහණ, එව කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු (මිහිරි) කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු ද? වහන්ස, එසේ ය යි.

මහණෙනි, “තෙපි එවු, ‘මහණ එව කවරෙක් ඉතා වැඩියක් බණන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට, බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ’ යි උගත්කමින් ඔවූනොවුන් ඉක්මවා කියවු” යි මවිසින් එසේ දෙසු දහමක් කිම, තෙපි දන්නහු ද? වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, තෙපි මා විසින් “මෙසේ දහම් දෙසන ලදැ”යි ඉදින් නො දන්නාහු නම් එසේ කල්හි, මොඝ (හිස්) පුරුෂයෙනි, තෙපි දැන් කුමක් හෙයින් කුමක් දන්නාහු, කුමක් දක්නාහු මෙසේ ස්වාක්ඛ්‍යාත ධර්මවිනයෙහි - ශාසනයෙහි පැවිදි වූවාහු, “මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් එක්මවා කියවු ද?

ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පාහි හිසින් වැටී, “වහන්ස, යම් බඳු අපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූවාහු ම “මහණ එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක්‌ බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීම්හ, අපගේ වරද බාලයන් සේ මෝඩයන් සේ අදක්ෂයන් සේ ඒ අප ඉක්මවා ගියේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා" යි. යචචා කළහ.

මහණෙනි, යම් බඳු තෙපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ සසුනෙහි පැවිදි වූවාහු ම ‘මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් සොඳුරු කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් කියන්නේ දැ” යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීවහු ද, බාලයන් සේ මෝඩයන් සේ අදක්ෂයන් සේ ඒකාන්තයෙන් වරද ඒ තොප ඉක්ම ගියේ ය. මහණෙනි, යම් හෙයකින් තෙපි වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කරවු ද, තොපගේ ඒ වරද අපි පිළිගණිමු මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, මතුත් සංවරයට පැමිණේ ද, ආර්ය්‍යශාසනයෙහි මේ වැඩීමෙකි යි.

 

සයවැනි වූ  ඔවාද සූත්‍රය නිමියේ ය.