සුත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
4. කස්සප සංයුත්තය
1.කස්සප වර්ගය
4.1.4
කුලූපක සූත්‍රය
287. සැවැත්නුවර-
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි දැ යි? වහන්ස, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … “භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂුහු දරන්නාහුය” … භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ස්වල්පයක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා. ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වා” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. ඒ හේතු කොට ගෙණ හෙතෙමේ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ටිකක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හෙතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හෙතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි ය.
මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ටිකක් නො දෙත්වා, මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වායි-මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් කරා එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් කරා එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි හෙතෙමේ ඒ හෙතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මඳක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ය.
මහණෙනි, කාශ්‍යප තෙමේ “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, මදක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා, මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා, මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වාය” යි මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹෙයි.
මහණෙනි, මේ බඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ කසුප්හට ඉදින් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙන දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මදක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් සල් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි.
මහණෙනි, කාශ්‍යපයන් හා සමාන වන්නට හෝ යමෙක් කසුප් බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ තොප විසින් ද ඒ පිණිස පිළිපැදිය යුතු යි.
සතරවැනි වූ කුලූපක සූත්‍රය නිමියේ ය.