චන්‌දූපම සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.3

චන්‌දූපම සූත්‍රය

 

286. සැවැත්නුවර-

මහණෙනි, (කිසිවකු කෙරෙහි නො ඇලෙමින් අහස් නගින) චන්ද්‍රයා වැනිව සත්ථවාදියෙන්) කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිති (ආගන්තුකයකු මෙන්) අලුත් ව කුලයන්හි ප්‍රගල්භ (ගැටීම්) රහිතව කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගරාවැටුනු ලිඳක් හෝ කඳුබෑවුමක් හෝ ගංඉවුරු බුන් තැනක් හෝ කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම බලන්නේ ද, මහණෙනි එසෙයින් ම චන්ද්‍රයා වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව, කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, කසුප් තෙමේ සඳ වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙයි.

මහණෙනි, ඒ කිමැයි හඟීවු ද, කෙබඳු මහණෙක් කුලයන් වෙත එළඹෙන්නට නිසි දැ යි? “වහන්ස, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස, මේ භාෂිතයෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. (ඒ අර්ථය) භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ” යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහසෙයි අත සැලූහ. මහණෙනි, යම් සේ මේ අත අහසෙහි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, මහණෙනි, එසෙයින් ම කුලයන් වෙත එළඹෙන යම් කිසි මහණකුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් එසේ ම මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය. මහණෙනි, කුලයන් වෙත එළඹෙන කසුප්හුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලෙයි. නො ගැණෙයි. නො බැඳෙයි. තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය.

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම අපිරිසිදු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු දැ යි? “වහන්ස, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, මේ දේශනාවෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ” යි.

මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, යම් කිසි මහණෙක් “මගේ දහම් අසන්නාහු නම්, අසාත් පහන් වන්නාහු නම්, පහන් වූවහුත් මට පහන් අයුරු (ප්‍රකාශ) කරන්නාහු නම් ඉතා මැනැවැ” යි මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම් දෙසුම අපිරිසිදු වෙයි.

මහණෙනි, යම් කිසි මහණෙක් මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසාද- “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, එහිපස්සීක ය, ඔපනයික ය, විඥයන් විසින් තමන් තමන් විසින් ම දත යුතු යි. මාගේ ධර්මය අසන්නාහු නම්, අසාත් ධර්මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්මසුධර්මත්වය නිසා මෙරමාහට දහම් දෙසා ද, කරුණාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු වේ.

මහණෙනි, කාශ්‍යප තෙමේ මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාක්ඛ්‍යාත ය, සන්දෘෂ්ටික ය, අකාලිකය, එහිපස්සික ය, ඔපනයික ය, විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යි මාගේ ධර්මය අසන්නාහු නම්, අසාත් ධර්මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්මසුධර්මත්වය නිසා මෙරමාහට දහම් දෙසයි. කරුණාව නිසා මෙරමාහට දහම් දෙසායි අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසායි. අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසයි.

මහණෙනි, ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ යමෙක් කාශ්‍යප බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ ද තොප විසින් ඒ පිණිස පිළිපැදිය යුතු යි.

 

  

තෙවැනි වූ චන්‌දූපම සූත්‍රය නිමියේ ය.