චීවර සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.11

 චීවර සූත්‍රය

294. එක් සමයෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ මහත් බික්සඟන සමග දක්ඛිණාගිරි දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බෙහෙවින් තරුණ වූ තිසක් පමණ භික්ෂූහු සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරලුනාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ දකුණුගිරි දනව්වෙහි කැමතිතාක් චාරිකා කොට රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ මෙය කීහ:

“ඇවැත්නි, ආනන්දයෙනි, කෙතෙක් කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභොජනය* පණවන ලද්දේ දැ” යි.

වහන්ස, කාශ්‍යපයෙනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි: දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස ද, ප්‍රියශීල භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස ද, ලාමක අදහස් ඇත්තෝ, (කුලවිනවා බුදිමින්) පක්ෂය (=එවැනි ලාමකයන්ගෙන් ම වඩාගත් සමූහයා) නිසා සඞ්ඝයා නො බිඳිත්වා යි ද, වැලි කුලයන් කෙරෙහි වූ අනුද්දයාව නිසා ද වේ. වහන්ස, කාශ්‍යපයෙනි, මේ කරුණු තුණ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභොජනය පණවන ලදි.

ඇවැත්නි, ආනන්දයෙනි, ඉදින් එසේ නම් කුමක් හෙයින් තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුනු මේ නව භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු ද? ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. අවැත් ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් තරුණ වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.

“වහන්ස, කාශ්‍යපයෙනි, මගේ හිසෙහි පලිතයෝත් (=පැසුනු කෙසුත්) හට ගත්හ. එහෙත් අද දු ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ගේ කුමරක වාදයෙන් නො මිදෙමු” යි.

ඇවැත්නි, ආනන්දයෙනි, ඒ එසේ මැයි: (කුමරකයන් වෙනම හැසිරෙණ බැවින් තෙපි දු කුමරක වදයට නිසි ය යි සූ යේ ය:) තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදිවැරීමෙහි නො යෙදුණු මේ නවක භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු. ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. ඇවැත්නි ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් නවක වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.

ථුල්ලනන්දා මෙහෙණ “ආර්ය්‍ය වූ මහසුප් තෙරුන් විසින් ආර්ය්‍ය වූ වේදේහ මුනි ආනන්ද ස්ථවිර තෙමේ කුමරකවාදයෙන් ගරහන ලදැ” යි ඇසූ. එකල්හි ථුල්ලනන්දා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, පෙර අන්තොටු වූ ම ආර්ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්ය්‍ය වූ වෙදෙහමුනි ආනන්ද තෙරුන්ට කුමරක වාදයෙන් ගැරහිය යුතු ය යි සිතද්දැ”යි නො සතුටු වදන් පහළ කළා ය.

ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථුල්ලනන්දා මෙහෙණ මේ වචන කියද්දී අසූහ. ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්දයෙනි, ථුල්ලනන්දා මෙහෙණ විසින් ඒකාන්තයෙන් කරුණු නො සලකා ද්වේෂයෙන් වචන කියන ලදි. ඇවැත්නි, මම යම් කලෙක කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, (එවක් පටන්) ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ හැර අන් ශාස්තෘවරයකු (මගේ ශාස්තෘ ය යි) උදෙසන්නට (=උදෙසූ බවක්) නො දනිමි.

ඇවැත්නි, පෙර ගිහිවූ ම මට “ගෘහවාසය සම්බාධ (=අවකාශ රහිත) ය, කෙලෙස් රජස් රැස්වන මග ය. පැවිද්ද අභ්‍යවකාස ය. ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරුසුදු දෙවූ සකක් බඳු කොට (මොහොතකුදු මල නො ගන්වා හැසිරිය යුතු) මේ බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඇවැත්නි, ඒ මම පසුකලෙක මහඟුවත් කඩකපාගත් පිලියෙන් සඟල (සිවුරක්) කොට ගෙණ ලොව යම් රහත්හු වෙත් නම් ඒ රහතුන් උදෙසා කෙස් රැවුල් බා ඒ කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි.

ඒ මම මෙසේ පැවිදි වූයෙම් ම අදන් මගට පිළිපන්නෙමි. රජගහනුවරට ද නාලන්දාවට ද අතර බහුපුත්ත සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටිමි. දැක “මම ශාස්තෘවරයකු දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම මාගේ ශාස්තෘවශයෙන් දක්නෙමි. මම සුගත කෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි. මම සම්මාසම්බුදුකෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි” යි මට මේ සිත විය. ඇවැත්නි, ඒ මම එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා වෙත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි” යි** මෙය සැළකෙළෙමි.

ඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: “කස්සප, යමෙක් මෙසේ මුළුහිතින් සමන්විත වූ සවුවකු (ගුණවිසින්) නො දන්නේ ම දනිමි යි (ස්වකීය ශාස්තෘභාවය ප්‍රතිඥ කෙරේ ද) නොදක්නේ ම දකිමි යි කියා ද, ඔහුගේ හිසත් ගිලිහෙන්නේ ය. (සත්කඩකට) පැලෙන්නේය. කස්සප, මම වනාහි (මාගේ ශාස්තෘභාවය) දන්නෙම් ම දනිමි යි කියමි. දක්නෙම් ම දකිමියි කියමි.+

කස්සප, එහෙයින් (මා ශාස්තෘ බැවින්) තොප විසින් මෙහි මෙසේ හික්මියයුතු: “ස්ථවිර නව මධ්‍යම භික්ෂූන් කෙරෙහි මාගේ දැඩි හිරි ඔතප් එළඹ සිටියේ වන්නේ” ය යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.

කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතු. “කුසල් ඇසුරු කළ යම්කිසි දහමක් අසන්නෙම් නම් ඒ සියලු දහම (තමහට අර්ථයකැයි) අර්ථවත් කොට මෙනෙහි කරමින් මුළුහිත එක්කොට යොමු කළ කන් ඇති ව අසන්නෙමි” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.

කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ ම හික්මිය යුතු “සුඛසම්ප්‍රයුක්ත (ප්‍රථමධ්‍යාන සුඛයෙන් යුක්ත) වූ මාගේ කායගතාසතිය, නො මා හරණේ ය” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.

ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ (ත්‍රිවිඩ)අවවාදයෙන්++ මට අවවාද කොට හුනස්නෙන් නැගී වැඩිසේක.

ඇවැත්නි, මම සත්දවසක් ම රටවැසියා විසින් දෙන පිණ්ඩාහාරය නය ගැති ව වැළඳුවෙමි ඉක්බිති අටවැනි දිනයෙහි මට රහත් බව පහළ විය.

ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. ඇවැත්නි, එකල්හි මම පටපිලොතිකායෙන් කළ සඟල සිවුර සිවුගුණු කොට පණවා භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ හිඳින සේක්වා, දිගු කලක් එය මට හිත පිණිස සැප පිණිස වනු ඇතැයි” මෙය සැළකෙළමි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩහුන් සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ “කස්සප, මේ පටපිලොතිකා සඞ්ඝාටිය මෘදු ය”යි මෙය මට වදාළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ පටපිලොතිකා සඞ්ඝාටිය අනුකම්පා කොට පිළිගන්නා සේක්වා යි සැළකෙළෙමි.

කස්සප, තෙපි පරිභෝගයෙන් දිරාගිය හණවැහැරි (පිළි) යෙන් කළ මාගේ පවුල්සිවුරු දරන්නෙහි ද? වහන්ස, මම පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුරු දරන්නේමි යි.

ඇවැත්නි, මම මහඟුවත් කඩ කපා කළ සඟලසිවුර භාග්‍යවතුන් වහන්සේට ප්‍රදානය කෙළෙමි. පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුර මම පිළිගතිමි. ඇවැත්නි, මැනවින් සත්‍යය කියන්නෙක් “මුවෙන් (බුදුමුවෙන් නිකුත් අවවාදයෙන්) උපන්, ධර්මයෙන් හටගත්, ධර්මයෙන් නිමියා වූ ධර්මය දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර (ලෙහි උපන් පුතා)ය”යි ඒ යමකු සඳහා කියන්නේ නම්’ මැනවින් කියන්නේ “මුවෙන් උපන්, දහමෙන් හටගත්, දහමෙන් නිමියා වූ, දහම දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ උරදාපුත්ය” යි ඒ මට කියන්නේ ය.

ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) කාමයන් කෙරෙන් වෙන් ව ම, අකුශල ධර්මයන් කෙරෙන් වෙන් ව ම, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි.

ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒතාක්) (නවානුපූර්ව විහාර සමාපත්තින්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද විස්තරය පෙය්‍යාලයෙන් දත යුතු යි)

ඇවැත්නි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වෙසෙමි.

ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් වූ හෝ ඇතකු තලපතෙකින් වැසිය හැකි ය යි හඟනේ ය.

ථුල්ලනන්දා මෙහෙණ බඹසරින් ච්‍යුත වූවා ය.


* “ගණභොජනෙ අඤ්ඤත්‍ර සමයා පාචිත්තියන්ති - ගණ භොජනයෙහි හෙවත් යටත් පිරිසෙයින් භික්ෂූන් සතර දෙනෙකුන් අකැපසේ පවරා කුලයන්හි දෙන බොජුනක් දුර්භික්ෂාදියක් නැති කල සතරදෙන එකතුව වැළඳීමෙහි පවිති අවැත් ව්” ය යි පැණ වූ ශික්ෂාපදය මෙහි තිකභොජන ය යි වදාළහ. අකැප වූ ද පැවරුමෙකින් තිදෙනෙක් එක්ව කුලයන්හි වැළඳීම ආපත්තිකර නොවේ ය යි කී හෙයින් ද, කරුණු තුණක් සලකා පැණවූ හෙයින් ද මෙය ‘තිකභොජන’ය යි ගත්සේ ය.

** මෙය දෙවරස්කියූ සේ මෙහි දැක්වෙතත් තෙවරක් සැළකළ බව දත යුතු. මෙයින් මහසුප් මහ තෙරණුවෝ තමන්ගේ බුද්ධශ්‍රාවකභාවය පැවසූහ. මෙහි සාතිශය ප්‍රීතිසංවෙගජනක විස්තරය අර්ථකථාවෙන් දත යුතු.

+ ඉදින් කාශ්‍යපයෝ අන්‍ය ශාස්තෘවරයෙකුට මෙබඳු පරම නිපත්‍යාකාර ගෞරවයක් කෙරෙත් නම් ඒ ශාස්තෘහට එය ඉවසිය නොහෙන බවත්, බුදුරජුන්ගේ ශාසනා මහත්වයත් මෙයින් කියූසේ ය.

++ මේ ත්‍රිවිධ අවවාදය තෙරුන්ගේ පැවිද්ද හා උපසම්පදාව විය.

එකොළොස්වැනි වූ   චීවර සූත්‍රය නිමියේ ය.