ජිණ්‌ණ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.5

ජිණ්‌ණ සූත්‍රය

288. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලඥක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාෂ්‍යප, දැන් තෙපි මහලු වහු. හණපිලියෙන් කළ (භාග්‍යවතුන් විසින් පළමු පොරොවා හළ බැවින්) නිබ්බසන වූ (නැවත නැවත කළ ගෙත්තම් ඇති) මේ පවුල් සිවුරු (දැරීම) තොපට බර ය. කස්සප, එහෙයින් දැන් තෙපි (පාංශුකූලිකාඞ්ගාදිය හැර) ගැහැවි සිවුරු ද දරවු. ලහබත් ආදි නිමන්ත්‍රණයන්හි ද වළදවු, මා ලඟ ද වෙසෙවු.

වහන්ස, මම දිගුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ බණනුයේ ද, පිණ්ඩපාතික ද, පිණ්ඩපාතික බැව්හි ගුණකියනුයේ ද, පාංසුකූලික ද, පාංසුකූලික බැව්හි ගුණ කියණුයේ ද, තෙචීචරික ද,තෙචීචරික බැව්හි ගුණ කියනුයේ ද, අල්පෙච්ඡ ද, අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුයේ ද, සන්තුෂ්ට ද, සන්තුෂ්ට බැව්හි ගුණ කියනුයේ ද, ප්‍රවිවික්ත ද, ප්‍රවිවෙකයෙහි ගුණ කියනුයේ ද, අසංසෘෂ්ට ද, අසංසර්ගයෙහි ගුණ කියනුයේ ද, ආරබ්ධවීර්ය්‍යය ද, වීර්ය්‍යාරම්හයෙහි ගුණ කියනුයේ ද වෙමි.

කාශ්‍යප, තෙපි කිනම් ප්‍රයෝජනයක් දක්නහු දිඟුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද? පිණ්ඩපාතික ද ... පංසූකූලික ද ... තෙචීචරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද … අසංසෘෂ්ට ද … ආරබ්ධවීර්ය්‍ය ද වීර්ය්‍යාරම්හයෙහි ගුණ කියනුයේ දැ යි?

වහන්ස, මම ප්‍රයෝජන දෙකක් දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද වෙමි පිණ්ඩපාතික ද … පාංශුකූලික ද ... තෙචීචරිකද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද ... ප්‍රවිවික්තද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්ය්‍ය ද වීර්ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි: තමාගේ ඉහාත්ම සැපවිහරණය දකිමිනුත් “පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙන්නේ නම් මැනවැ” යි පශ්චිම ජනතාවට අනුකම්පා කරමිනුත් ය. යම් ඒ බුදු අනුබුදු සව්වෝ වූහු ද ඔහු දිගුකලක් අරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද වූහ පිණ්ඩපාතික ද ... වූහ. පාංශුකූලික ද ... වූහ. තෙචීචරක ද වූහ අල්පෙච්ඡ ද ... වූහ සන්තුෂ්ට ද … වූහ ප්‍රවිවික්ත ද … වූහ අසංසෘෂ්ට ද වූහ. ආරබ්ධවීර්ය්‍ය ද වීර්ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද වූහ. ඔහු ඒ පිණීස පිළිපදනාහ. ඔවුනට එය දිගුකලක් හිත පිණීස සැප පිණීස වන්නේ ය. වහන්ස, මම මේ ප්‍රයෝජන දෙක දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද ... පිණ්ඩපාතික ද ... පාංශුකූලික ද ... තෙචීචරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්ය්‍ය ද වීර්ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.

කාශ්‍යප, මැනවි, මැනවි. කාශ්‍යප, තෙපි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස ලොවට අනුකම්පා පිණීස දෙව් මිනිසුන්ට හිත වැඩ පිණිස පිළිපන්නහු ය. කාෂ්‍යප, එහෙයින් තෙපි හණපිලියෙන් කළ පරිභෝගයෙන් මාලු වූ පවුල්සිවුරුම දරවු. පිඬු පිණිසත් හැසිරෙවු වෙනෙහිත් වෙසෙවු යි.

 

 

පස්වැනි වූ ජිණ්‌ණ සූත්‍රය නිමියේ ය.