ඣානාභිඤ්‌ඤ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.9

 ඣානාභිඤ්‌ඤ සූත්‍රය

292. සැවැත්නුවර-

මහණෙනි, මම යම්තාක් කල් කැමති වන්නෙම් නම් (ඒ තාක්) කාමයන් ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කල් කැමති වන්නේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමහේතුවෙන් ස්වසන්තානයෙහි උපන් පැහැදීම ඇති, සිත්හුගේ එකලාව උපදනා උතුම් සමාධිය වඩන, විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් ඒ තාක් විතර්ක විචාරයන්ගේ ව්‍යූපශම හේතුවෙන් … ද්විතියධ්‍යානය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්ෂා ඇත්තෙම් ද සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද වෙසෙමි. සුවද කයින් විඳිමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ තෘතීයධ්‍යාන සමන්විත පුද්ගලයා ‘උපේක්ෂකය, සිහි ඇත්තේ ය, සුඛවිහාර ඇත්තේ’ යයි ආර්ය්‍යයෝ කියත් ද, ඒ තෘතියධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) … තෘතියධ්‍යානය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්වයෙහිම සොම්නස් දොම්නස් අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්ෂායෙන් හටගත් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්ථධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්ථධ්‍යානය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් රූපසංඥාවනගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්මසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කල් කැමති වේ ද (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කශ්‍යප ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ” යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤනාසඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … නේවසඤ්ඤනාසඤ්ඤායතනය උපදවා වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤනාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද සඤ්ඤාවෙදයිතනිරොධයට පැමිණ වෙසෙයි.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) නන්වැදෑරුම් සෘද්ධි කොටස් වළඳමි. එකෙක් ව ද බොහෝ පරිදි වෙමි. බොහෝ පරිදි ව ද එකෙක් වෙමි. ප්‍රකටබව ද සැඟවුනුබව ද (කරමි.) බිතුසරස පවුරුසරස පවුසරස අහසෙහි මෙන් නො ගැටෙමින් යෙමි. පොළොවෙහි ද දියෙහි ද මෙන් මතු වීම කිමිදීම කරමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි ද යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙයි ද පලඟින් සක්මන් කරමි. මේ සා මහත් සෘද්ධි ඇති මේ සා මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්ශනය කරමි. පිරිමදිමි. බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) නන්වැදෑරුම් සෘද්ධි කොටස් වළඳ යි ... බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වයි.

මහණෙනි, මම යම් තාක් කැමති වෙම් ද, (ඒ තාක්) විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්ම පැවති දිව කණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසමි. මහණෙනි, කස්සප ද යම්තාක් කැමති වේ ද … (ඒතාක්) දිවකණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසයි.

මහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) අන්‍යසත්ත්වයන්ගේ අන්‍යපුද්ගලයන්ගේ සිත (තම) සිතින් පිරිසිඳ දැන ගණිමි: සරාග සිත හෝ සරාග සිතැයි දැන ගණිමි. වීතරාග සිත වීතරාග සිතැයි දැන ගණිමි. සදොස සිත හෝ ... වීතදොස සිත හෝ … සමොහ සිත හෝ ... වීතමොහ සිත හෝ … සඞ්ඛිත්ත සිත හෝ ... වික්ඛිත්ත සිත හෝ … මහග්ගත සිත හෝ … අමහග්ගත සිත හෝ ... සඋත්තර සිත හෝ … අනුත්තර සිත හෝ … සමාහිත සිත හෝ … අසමාහිත සිත හෝ ... විමුත්ත සිත හෝ ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තම සිතින්) පිරිසිඳ දැන ගණියි: සරාග සිත හෝ සරාග සිතැ යි දැන ගණියි ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණියි.

මහණෙනි, “මම යම්තාක් කැමති වෙම් ද (ඒ තාක්) පෙර විසු කඳ පිළිවෙළ සිහි කෙරෙමි. ඒ මෙසේ යි: “එක ජාතියක් ද, දෙජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සාළිස් ජාතියක් ද, පණස් ජාතියක් ද, සිය ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් වැනසෙන කප් ද, නොයෙක් වැඩෙන කප් ද, නොයෙක් වැනසෙන වැඩෙන කප් ද” අසුවල් තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයුකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන පහළ වීමි. එහි දු මෙ නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව මෙහි උපන්මි” යි. මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: “එක් ජාතියක් ද … මෙහි උපන්මියි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.

මහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්මවා පැවති දිවැසින් සත්ත්වයන් දකිමි: ච්‍යුත වන, උපදින, හීන ප්‍රණීත, මනා පැහැ ඇති, නපුරු පැහැ ඇති, මනා ගති ඇති, නපුරු ගති ඇති, කර්ම වූ පරිදි පැමිණි සතුන් දැන ගණිමි: ‘මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්වාගතහ. අර්ය්‍යයන්ට උපවාද කරන්නෝ ය. මිථ්‍යාදුෂ්ටිකයෝ ය. මිථ්‍යාදුෂ්ටිකර්ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විවස ව පතිත වන, නිරයට පැමිණියාහු ය. මේ පින්වත් සත්ත්වයෝ කායසුචරිතයෙන් සමන්වාගතහ. වාග්සුචරිතයෙන් සමන්වාගතහ. මනඃසුචරිතයෙන් සමන්වාගතහ. අර්ය්‍යොපවාද නො කරන්නෝ ය. සම්‍යග්දෘෂ්ටි ගත්තෝ ය. සම්‍යග්දෘෂ්ටිකර්ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියහයි, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකිමි. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත යථාකර්මෝපග සත්ත්වයන් දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. … ච්‍යුත වන උපදින හීනප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත යථාකර්මෝපග සත්ත්වයන් දැන ගණියි.

මහණෙනි, මම ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත් ඵලසමාධිය ද අර්හත් ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙ යි.

 

නවවැනි වූ  ඣානාභිඤ්‌ඤ සූත්‍රය නිමියේ ය.