තෙවන ඔවාද සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.8

තෙවන ඔවාද සූත්‍රය

291. සැවැත්නුවර-

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: කස්සප, භික්ෂූන්ට අවවාද කරව. කස්සප භික්ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු ) යි.

වහන්ස, දැන් භික්ෂූහු දුවවහ. දුවවබව කරණ දහමින් සමන්විතහ. නො ඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය යි.

කස්සප, ඒ එසේ මැ යි. පෙර ස්ථවිර භික්ෂූහු ආරණ්‍යක වූවොත්, ආරණ්‍යක බැව්හි ගුණ කියන්නෝත් වූහ. පිණ්ඩපාතික වූවොත්, පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නෝත් වූහ. පාංශුකූලික වූවොත්, පාංශුකූලික බැව්හි ගුණ කියන්නෝත් වූහ. තෙචීවරික වූවෝත්, තෙචීවරික බැව්හි ගුණ කියන්නෝත් වූහ. අල්පෙච්ඡ වූවොත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නෝත් වූහ. සන්තුෂ්ට වූවොත්, සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නෝත් වූහ. ප්‍රවිවික්ත වූවෝත්, ප්‍රවිවෙකයෙහි ගුණ කියන්නෝත් වූහ. අසංසෘෂ්ටයෝත්, අසංසර්ගයෙහි ගුණ කියන්නෝත් වූහ. අරාබ්ධවීර්ය්‍යයෝත්, වීර්ය්‍යාරම්භයෙයි ගුණ කියන්නෝත් වූහ.

එහි යම් මහණෙක් අරණ්‍යකත් ආරණ්‍යක බැව්හි ගුණ කියන්නේත්, පිණ්ඩපාතිකත් පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නේත්, පාංශුකූලිකත් පාංශුකූලික බැව්හි ගුණ කියන්නේත්, තෙචීවරිකත් තෙචීවරික බැව්හි ගුණ කියන්නේත්, අල්පෙච්ඡත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නේත්, සන්තුෂ්ටත් සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නේත්, ප්‍රවිවික්තත් ප්‍රවිවෙකයෙහි ගුණ කියන්නේත්, අසංසෘෂ්ටත් අසංසර්ගයෙහි ගුණ කියන්නේත්, අරාබ්ධවීර්ය්‍යත් වීර්ය්‍යාරම්භයෙහි ගුණ කියන්නේත් වේ නම්, ස්ථවිර භික්ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගණුව” යි අසුනෙන් පවරත්.

කස්සප, එහි ලා නවක භික්ෂූන්ට “යම් ඒ මහණෙක් ආරණ්‍යකත් අරණ්‍යක බැව්හි ගුණ කියනුයේත් පිණ්ඩපාතිකත් … පාංශුකූලිකත් … තෙචීවරිකත් ... අල්පෙච්ඡත් ... සන්තුෂ්ටත් ... ප්‍රවිවික්තත් ... අසංසෘෂ්ටත් ... අරාබ්ධවීර්ය්‍යත් ... වීර්ය්‍යාරම්භයෙහි ගුණ කියණුයේත් වේ නම්, ස්ථවිර භික්ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය, හිඳගණුවයි අසුනෙත් පවරති” යි මෙසේ අදහස් වේ නම් ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුන්ට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වේ.

කස්සපය, දැන් ස්ථවිර භික්ෂූහු ආරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පිණ්ඩපාතික ද පිණ්ඩපාතික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පංසුකූලික ද පංසුකූලික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. තෙචීවරිකද තෙචීවරික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. අල්පෙච්ඡ ද අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. සන්තුෂ්ට බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. ප්‍රවිවික්ත ද ප්‍රවිවෙකයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අසංසෘෂ්ට ද අසංසර්ගයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අරාබ්ධවීර්ය්‍ය ද වීර්ය්‍යාරම්හයෙහි ගුණ කියනුවෝ ද නො වෙති.

එහි යම් මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වේ නම්, ස්ථවිර භික්ෂූහු ඔහුට “මහණ, එව මේ භික්ෂු තෙමේ කිනම් ද? මේ භික්ෂු තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ භික්ෂු තෙමේ ඒකාන්තයෙන්ම සබ්‍රම්සරුණට කැමති ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගනුව” යි අසුනෙත් පවරත්.

කස්සපය, එහි දී නවක භික්ෂූන්ට “යම් ඒ මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වූයේ වේ නම් ස්ථවිර භික්ෂූහු ඔහුට ‘මහණ, එව මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සබ්‍රම්සරුන්ට කැමති ය. මහණ, එව මේ අසුනය හිඳගණුව’ යි අසුනෙත් පවරති” යි මෙසේ අදහස් වේ. ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුනට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වෙයි.

කස්සපය, යම් හෙයකින් මැනවින් (සත්‍යය) කියන්නෙක් “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ ය”යි කියන්නේ නම්, කස්සපය, සත්‍යය කියන්නේ “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ” යි මෙසේ කියන්නේ යි.

අටවැනි වූ තෙවන ඔවාද සූත්‍රය නිමියේ ය.