දෙවන ඔවාද සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.7

දෙවන ඔවාද සූත්‍රය

   

290. සැවැත්නුවර-

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක කස්සප, භික්‍ෂූන්ට අවවාද කරවු කස්සප, භික්‍ෂූන්ට දැහැමි කතා කරවු. කස්සප, මම හෝ භික්‍ෂූන්හට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) කස්සප, මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (දැහැමි කතා කරවු යි.)

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු දුර්වවහ. දුවවබැව් කරණ දහමින් සමන්විතහ. නො ඉවසන්නෝ ය. අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, යම් කිසිවකුට කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල්දහම්හි හිරි නැද්ද, කුසල්දහම්හි ඔතප් නැද්ද, කුසල්දහම්හි වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

වහන්ස, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් සඳ පැහැයෙන් පිරිහේ ම ය, මඬලින් පිරිහේ ම ය, දීප්තියෙන් පිරිහේම ය, උසමහතින් පිරිහේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ නැද්ද, … හිරි නැද්ද, … ඔතප් නැද්ද, ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

වහන්ස, ‘සැදහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, ‘හිරි නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කුසීත පුරුෂපුද්ගලයා, යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘දුෂ්ප්‍රාඥ පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ’බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ යන’ මෙය පිරිහීමෙකි.

වහන්ස, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, කුසල්දහම්හි හිරි ඇද්ද, කුසල්දම්හි ඔතප් ඇද්ද, කුසල්දහම්හි වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමති විය නොහේ.

මහණෙනි, පුරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උසමහතින් වැඩේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, … හිරි ඇද්ද, … ඔතප් ඇද්ද, … වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමැති විය නොහේ.

වහන්ස, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘හිරි ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඇරඹූ වෑර ඇති පුරුෂපුද්ගලයා යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නුවණැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහිමෙකි. වහන්ස, ‘නො කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘බද්දවෛරය නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘අවවාද කරණ භික්ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි.

කස්සප, මැනවි, මැනවි. කස්සප, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද … වැර නැද්ද, කුසල් දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි හානිය ම කැමති විය යුතු. වැඩිම කැමති විය නො හේ.

කස්සප, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් පිරිහේ ම ය. මඬලින් පිරිහේම ය. දීප්තියෙන් පිරිහේ ම ය. උසමහතින් පිරිහේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල් දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද ...වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම් හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

කස්සප, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. හිරි නැති … ඔතප් නැති … කුසිත … නුවණ නැති … කිපෙනසුලු … කස්සප, ‘බද්දවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්ෂූහු නැත්තාහ’ යන මෙය පිරිහීමෙකි.

කස්සප, යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, හිරි … ඔතප් ... වැර … කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු ය. පිරීහීම කැමති නො විය යුතු යි.

කස්සප, යම්සේ පුර සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උස්මහතින් වැඩේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද … හිරි ඇද්ද … ඔතප් ඇද්ද ... වැර ඇද්ද, කුසල්දහම්හි නුවන ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු. පිරිහීම කැමති නො විය යුතු යි.

කස්සප, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. හිරි ඇති ... ඔතප් ඇති … ඇරඹු වෙර ඇති ... නුවණ ඇති … නො කිපෙන සුලු … ‘බද්ධවෛරය නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි යි.

සත්වැනි වූ දෙවන ඔවාද සූත්‍රය නිමියේ ය.