භික්ඛුනු උපස්‌සය සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

4. කස්සප සංයුත්‌තය

1.කස්සප වර්ගය

4.1.10

 භික්ඛුනු උපස්‌සය සූත්‍රය

293. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ පෙරවරු හැඳ පොරවා පා සිවුරු ගෙණ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය- එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.

ඇවැත්නි, ආනන්දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.

දෙවන වට දු ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.

ඇවැත්නි, ආනන්දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.

තෙවන වට දු ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් අනඳතෙරුන් පසුමහණහු කොට ගෙණ එක්තරා මෙහණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන්හ.

එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මෙහෙණන් ආයුෂ්මත් මහසුප් තෙරනණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ඒ මෙහෙණන් දැහැමි කතායේන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩියහ.

එකලිහි ථූල්ලතිස්සා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, ආර්ය්‍ය වු මහා කාශ්‍යප තෙරණුවෝ ආර්ය්‍ය වූ වේදේහ මුනි ආනන්ද තෙරණුවන් හමුයෙහි දහම් බිණිය යුතු යි හගිද්ද? යම් සේ හිදි වෙළෙඳෙක් හිදිකරු ලඟ හිදි විකිණීය යුතු ය යි හඟනේ නම්, එසෙයින් ම ආර්ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්ය්‍ය වූ වෙදේහ මුනි අනඳ තෙරුන් හමුයෙහි දහම් බිණිය යුතු යි හඟිති” යි නො සතුටු වදන් බිණුවා ය.

ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථූල්ලතිස්සා මෙහණ මේ වදන් කියද්දී (අනෙකෙකු විත් සැළකළ පරිදි) ඇසූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට “ඇවැත්නි, ආනන්දයෙනි, කිමෙක් ද, මම හිඳි වෙළෙඳෙකිම් ද? තෙපි හිඳිකරුද? නොහොත් මම හිඳි කරු වෙම් ද? තෙපි හිඳි වෙළෙඳෙක් දැ” යි? මෙය කීහ “වහන්ස කාශ්‍යපයෙනි, කමා කළ මැනවි. මාගම මෝඩය” යි.

ඇවැත්නි, ආනන්දයෙනි, තෙපි සිටිවු. බික්සඟ තෙමේ මතු (අතිරෙක කරුණෙක්හි) තොප නොපිරික්සාවා. (තොප කෙරෙහි භික්ඛුනී සත්ථවාදීන් සැක නො කෙරේවා.)

ඇවැත්නි, ආනන්දයෙනි, ඒ කිමැයි හඟිවු ද? “ මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, ආනන්දත් යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන කෙරෙහි (බුදුනට ප්‍රතිභාග ශ්‍රාවකයෙකු වශයෙන්) පමුණුවන ලදහු ද?

‘වහන්ස, මෙය නො වේ මය.’

ඇවැත්නි, මම් වූ කලි “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් යම් තාක් කල් කැමැති වේ ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙ”යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්ඟන කෙරෙහි (බුද්ධප්‍රතිභාග ශ්‍රාවක වශයෙන්) පමුණුවන ලද්දෙම් වෙමි.

(ප්‍රථමධ්‍යානාදී නවවිධ අනුපූර්ව විහාරසමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද පෙය්‍යාලය දතයුතු.)

ඇවැත්නි, ආනන්දයෙනි, ඒ කුමැයි හඟිවු ද, “මහණෙනි, මම ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත් ඵලසමාධියත් අර්හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, ආනන්දත් ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසේ” යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලදහු ද?

‘වහන්ස, එය නො වේ ම ය.’

“මහණෙනි, මම ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත් ඵලසමාධියත් අර්හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත් ඵලසමාධියත් අර්හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසේ” යි මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලද්දෙමි.

ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් (=සත්රියන් හමාරක්) වූ හෝ ඇතකු තල්පතකින් වැසිය හැකි ය යි හඟනේ ය.

ථුල්ලතිස්සා මෙහෙණ බඹසරින් චුත වූවා ය.

 

දසවැනි වූ   භික්ඛුනු උපස්‌සය සූත්‍රය නිමියේ ය.