ගිඤ්‌ජකාවසථ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

2. ධාතු සංයුත්‌තය

2.සත්තධාතු වර්ගය

2.2.3

 ගිඤ්‌ජකාවසථ සූත්‍රය

237. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගිඤ්ජකාවසථයෙහි (=ගැඩොලින් කළ ගෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතු සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, ධාතු (අධ්‍යාශය) නිසා සංඥාව උපදී, දෘෂ්ටිය උපදී, විතර්කය උපදී යි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: වහන්ස, සම්මාසම්බුදු නො වන්නවුන් කෙරෙහි ‘සම්මාසම්බුදුහ’ යන යම් මේ දෘෂ්ටියෙක් වේ ද, වහන්ස, මේ දෘෂ්ටිය කුමක් නිසා පැණේ දැ යි?

කච්චාන, යම් මේ අවිද්‍යාධාතුවෙක් වේ ද, මේ ධාතුව මහත් ය කච්චාන හීනාධ්‍යාශය නිසා හීන සංඥාව උපදී. හීන දෘෂ්ටිය, හීන විතර්කය හීන චේතනාව, හීන ප්‍රාර්ථනාව, හීන ප්‍රණිධිය, හීන පුද්ගලයා, හීන වචන උපදී, හීන වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපද්ම හීන ය යි කියමි.

කච්චාන, මධ්‍යම අධ්‍යාශය නිසා මධ්‍යම සංඥාව උපදී, මධ්‍යම දෘෂ්ටිය, මධ්‍යම විතර්කය, මධ්‍යම චේතනාව මධ්‍යම ප්‍රාර්ථනාව, මධ්‍යම ප්‍රණිධීය, මධ්‍යම පුද්ගලයා, මධ්‍යම වචන උපදී. මධ්‍යම වූවක් කියයි, දෙශනා කරයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම මධ්‍යම ය යි කියමි.

කච්චාන ප්‍රණීතාධ්‍යාශය නිසා ප්‍රණීත සංඥාව උපදී. ප්‍රණීත දෘෂ්ටිය, ප්‍රණීත විතර්කය, ප්‍රණීත චේතනාව, ප්‍රණීත ප්‍රාර්ථනාව, ප්‍රණීත ප්‍රණීධිය, ප්‍රණීත පුද්ගලයා, ප්‍රණීත වචන උපදී. ප්‍රණීත වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම ප්‍රණීත ය යි කියමි යි.

 

තෙ වැනි වූ ගිඤ්‌ජකාවසථ සූත්‍රය නිමියේ ය.