ථෙරනාම සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.10

ථෙරනාම සූත්‍රය

 

404. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ථෙර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේ ද එකලා ව විසීමෙහි ගුණ කියන්නේ ද වෙයි. හෙතෙමේ එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙහි. එකලා ව පෙරලා එයි. එකලා ව රහසිගත ව හිඳි. එකලා ව සක්මනට නගී.

එකල්හි බොහෝ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේත් එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වේ ය” යි මෙය සැළකළහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෝ ‘ඇවැත්නි, ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මාගේ වචනයෙන් ථේර මහණ අමතව. ‘වහන්ස, එසේ ය’ යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ථේර මහණ වෙත එළඹියේ ය. එළඹ, ආයුෂ්මත් ථේර මහණහට ‘ඇවැත්නි ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මෙය කී ය. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් ථේර මහණ තෙමේ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ථේරහට භාග්‍යවතුන් වහන්සේ: ථේර, තෝ එකලා ව වෙසෙන්නෙහි, එකලා ව විසීමෙහි ගුණ කියන්නෙහිත් සැබෑ දැ යි මෙය වදාළහ. වහන්ස , එසේ ය.

ථේර, කෙසේ නම් එකලා ව වෙසෙන්නේ එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වෙහි ද? වහන්ස, මෙහි මම එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙමි එකලා ව පෙරලා එමි. එකලා ව රහසිගතව හිඳිමි. එකලා ව සක්මනට නගිමි. වහන්ස, මෙසේ මම එකලා ව වෙසෙන්නෙම් එකලා ව විසීමෙහි ගුණ කියන්නෙම් ද වෙමි.

ථේර, මේ එකලා විහරණය ඇත්තේ ය. එය නැත්තේ නොවේ ය යි කියමි. වැලි දු ථේර, යම් සේ එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, එය අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ථේර මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ථේර, කෙසේ නම් එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, ථේර, මෙහි අතීත වූ (ස්කන්ධපඤ්චකයෙහි ) යම් ජන්ඳරාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. අනාගත වූ (ස්කන්ධපඤ්චකයෙහි) යම් ජන්ඳරාගයෙක් වී නම් එය දුරු කරණ ලද්දේ ය. වත්මන් අත්බැව් පිළිලැබුම්හි ඡන්ඳරාගය මැනවින් හික්මවන (=මඩනා) ලද්දේ ය. ථේර, මෙසේ එකලා විහරණය පිරිපුන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මෙය ද වදාළ සේක:

සියල්ල (ස්කන්ධ ධාතු ආයතන ත්‍රිවිධ භව) මැඩ ලූ, ඒ සියල්ල දන්නා, මනා නුවණ ඇති, ඒ සියලු දහම්හි නො ඇලුනු, ඒ සියල්ල දුරු කළ තෘෂ්ණාක්ෂයසඞ්ඛාත නිවන අරමුණු කොට මිදුනු ඒ මිනිසා එකලා විහරණ ඇත්තේ ය යි මම කියමි යි.

 

දසවැනි වූ ථෙරනාම සූත්‍රය නිමියේ ය.