මහානාග සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                 ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.3

මහානාග සූත්‍රය

 

397. සැවැත්නුවර -

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර සමීපයෙහි කලන්ඳකනිවාප නම් වේළුවනාරාමයෙහි එක වෙහෙර (=එක ම ගර්‍භයක) වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු වූහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මූහුණුපැහැය පිරිසිදු ය වෙසෙසින් බබලන්නේ ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ අද ඒකාන්තයෙන් ශාන්ත වූ විහරණයකින් වූසූහූ ය” යි.

ඇවැත්නි , අද මම ඖදාරික (දිබ්බචක්ඛු - දිබ්බසොතධාතු විසය වූ) විහරණයකින් විසීමි. එහෙත් මාගේ දැහැමි කතාවෙක් වී ය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව කවරකු සමග වී ද? ඇවැත්නි, මාගේ දැහැමි කතාව භාග්‍යවතුන් වහන්සේ ම සමග වී ය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දැන් දුරෙහි ම සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. කිමෙක් ද? ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත වැඩි සේක් දැ යි?

ඇවැත්නි, මම ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නො ම එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද ඍද්ධියෙන් මා වෙත නො එළඹි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම්තාක් (දුරෙහි වූ) ද, ඒ තාක් මාගේ දිවැස ද දිවකණ ද (භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස ඇසීම පිණිස) විශුද්ධ (=යොමු ) විය. මම යම්තාක් දුරෙහි ද,ඒ තාක් භාග්‍යවතුන් වහසේගේ ද දිවැසත් දිවකණත් විශුද්ධ විය

ඒ කෙසේ නම් භාග්‍යවතුන් වහසේ සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව වී ද?

ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහසේට ‘වහන්ස, ආරබ්ධවීර්‍ය්‍ය ය, ආරබ්ධවීර්‍ය්‍ය ය යි කියනු ලැබේ වහන්ස, කෙතෙකින් ආරබ්ධවීර්‍ය්‍ය වේ දැ’ යි මෙය සැළකෙළෙමි. ඇවැත්නි, මෙසේ සැළකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: මොග්ගල්ලානය, මෙහි මහණ තෙමේ “ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂවිර්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම් එය නො ලබා වීර්‍ය්‍යයාගේ සිටීමෙක් නොවන්නේ ය”යි පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති ව වෙසෙයි. මොග්ගල්ලානය, මෙසේ ආරබ්ධවීර්‍ය්‍ය වේ ය”යි. ඇවැත්නි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග මාගේ දැහැමි කතාව විය.

ඇවැත්නි, යම් සේ කුඩා ගල් කැටක් හිමවත් පවුරජුගේ (මහත් බව සඳහා) ලක් තැබීම (උපමා කිරීම) පිණිස පමණක් ම වේ ද, එසෙසින් ම අපි දු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ (ඍද්ධිමහත්තත්වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මහත් ඍද්ධි ඇත්තාහ. මහත් අනුභාව ඇත්තාහ. කැමැත්තෝ නම් ආ‍යුෂකල්පය ම සිටිනාහු ය.

යම් සේ කුඩා ලුණුකැටක් (සක්වල මුවවිට හා බඹලොව හිම් කොට පිහිටි) ලුණු කළයක (මහත්බව සඳහා) ලක් තැබිම පිණිස පමණක් වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ (ප්‍රඥාමහත්ත්වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් ස්තුති කරණ ලදහ. වර්‍ණනා කරණ ලදහ. පසස්නා ලදහ:

ප්‍රඥාවෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද සැරියුත් තෙරණුවෝ ම ශ්‍රෙෂ්ඨයහ. යම් කිසි මහණෙක් පරතෙරට (නිවනට) පැමිණියේ නම් හෙතෙම සැරියුත් තෙරණුවන් ම පරම කොට ඇත්තෙ වන්නේ ය (තෙරුන්ට වඩාඋත්තරිතරයෙක් නැත.)

මෙසේ මේ මහානාගයෝ (මහරහත්) දෙනම මැනැවින් බණන ලද ඔවුනොවුන්ගේ සුබැසිය සතුටින් පිළිගත්හ.

තෙවැනි වූ මහානාග  සූත්‍රය නිමියේ ය.