ලකුණ්‌ටකභද්‌දිය සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                 ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.6

ලකුණ්‌ටකභද්‌දිය සූත්‍රය

 

400. සැවැත්නුවර-

එකල්හි ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් දුර දී ම එනුවන් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක:

මහණෙනි, තෙපි තෙල එන්නා වූ දුර්‍වණ නපුරු දැකුම් ඇති මිටි වූ භික්ෂූන් විසින් අවමන් කරණ ලද ස්වරූප ඇති මහණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් නො සමවන්විරූ යම් සමවතෙක් වේ ද, එබඳු සමවතෙක් සුලබ නො වේ. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තරඅර්‍හත්වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:

හංසයෝත් කොස්වාලිහිණියෝත් මොනරුත් ඇත්තුත් තිත් මුවෝත් සියල්ලෝ සිංහයාගෙන් බති. කයෙහි සමබවෙක් (පමණ ගිණීමෙක්) නැත.

එසෙයින් ම මිනිසුන් අතර නුවණැත්තේ ඉදින් ලදරු වූයේ ද, හෙතෙමේ ම එහි පූජ්‍ය වෙයි. බාල (අඥ) තෙමේ මහත් සිරුරක් ඇත්තේ ද නො ම පූජ්‍ය වෙයි.

 

සයවැනි වූ ලකුණ්‌ටකභද්‌දිය සූත්‍රය නිමියේ ය.