විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                      ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.7

විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍රය

 

401. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවෙනෙහි කූටගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි (පඤ්චාලිරාජ දුහිතෘ පුත්‍ර බැවින්) පඤ්චාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ නො පැකුළුණු කෙලතොලු නො වු (=නිදොස් වූ) අර්‍තවය අඟවන සිවුසස් නො හැර පවසන සසරට නිසි නො වූ නාගරික (=පුරවැසිබස් සෙයින් මිහිරි වූ) වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන් හලෙහි භික්ෂූන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටි සේක් උවටැන්හල වෙත එළඹි සේක. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, කවරෙක් නො පැකුළුණු කෙලතොලු නුවු (=නිදොස් වූ) අරුත් අඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතායෙන් උවටැන් හලෙහි භික්ෂූන් කරුණු දක්වා ද, සමාදන් කරවා ද, තෙද ගන්වා ද, සතුටු කෙරේ දැ යි? වහන්ස පඤ්චාලි පුත්‍ර වූ ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන්හලෙහි භික්ෂූන් කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙති යි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පඤ්චාලිපුත්‍ර වූ විසාඛ තෙරුන් ඇමතූ සේක. විසඛ, මැනැවි. මැනැවි. විසාඛ, තෙපි නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසර ඇසුරු නො කළ මධුර වචනයෙන් දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වවු. සමාදන් කරවවු, තෙද ගන්වවු, සතුටු කරවවු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි දු මෙය වදාළ සේක:

බාලයන් හා එක් වූ කථික (පණ්ඩිතයා) ලෝවැස්සෝ නො දනිත් අමාපදය දෙසන කථික (පණ්ඩිතයා) දැන ගණිත්.

ධර්මය කියන්නේ ය. බබුලුවන්නේ ය. සෘෂීන්ගේ ධ්වජ ය දැඩි කොට ගන්නේ ය. සෘෂීහු සුභාෂිතය ධ්වජ කොට ඇත්තාහ. නව ලොවුතුරු දහම සෘෂීන්ගේ ධ්වජ ය යි.

 

 

සත්වැනි වූ විසාඛ පඤ්චාලිපුත්ත  සූත්‍රය නිමියේ ය.