සාරිපුත්ත සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                 ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.2

සාරිපුත්ත සූත්‍රය

396. සැවැත්නුවර-

එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂුහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ.

ඇවැත්නි, මෙහි එකලා ව විවෙකී ව හුන් මට “යම්බඳු මට විපරිණාම අන්‍යථාභාවයෙන් (=යමක් පෙරෙළීම වෙනස් වීම නිසා) සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව ඇද්දෝ” යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.

ඇවැත්නි, ඒ මට “යම්බඳු මට විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව නැතැ” යි මෙ සිත විය.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් ඔබ වහන්සේට සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නූපදනාහු දැ”යි මෙය කීහ.

ඇවැත්නි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් මට සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නූපදනාහු ය. වැලිදු මට “පින්වත්නි, ඒකාන්තයෙන් මහේශාක්‍ය වු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සත්වයෙක් අතුරුදන් වූයේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ දිගුකලක් සිටුනා සේක් නම් එය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය යි මෙසේ සිතෙන්නේ ය

ඒ එසේ මැයි: ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ විසින් දිගු කලෙක අභිංකාරමමිඞ්කාරමානානුසයෝ මැනවින් උපුටා හරිණ ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් සෝක පරිදෙව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහ යි.

 

දෙවැනි වූ සාරිපුත්ත සූත්‍රය නිමියේ ය.