සුජාත සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.5

සුජාත සූත්‍රය

 

 

399. සැවැත්නුවර-

එකල්හි ආයුෂ්මත් සුජාත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සුජාත තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක:

මහණෙනි, මේ කුලදරු තෙමේ කරුණු දෙකෙකින් හොබී: “විශිෂ්ට රූප ඇත්තේ දැකුම්කලු වූයේ පැහැ එලවන උතුම් වර්‍ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ ය” යන යම් කරුණෙකුත් වේ ද, “යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදිත් නම් මහබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්ත්වය මේ අත් බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරෙයි” යන යම් කරුණෙකුත් වේ ද යන කරුණු දෙකෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙද වදාළ සේක:

මේ මහණ තෙමේ ඍජු වූ සිතින් ඒකාන්තයෙන් හොබී. කෙලෙසුන් කෙරෙන් මිදුනේ සංයෝජනයන්ගෙන් වෙන් වූයේ උපාදානරහිත ව නිවියේ සේනා සහිත මරු දිනා අන්තිමශරීරය දරණේ යි.

 

පස්වැනි වූ සුජාත සූත්‍රය නිමියේ ය.