චක්‌ඛුආදි සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

6. රාහුල සංයුත්‌තය

2. දෙ‍වෙනි වර්ගය

6.2.1

චක්‌ඛුආදි සූත්‍රය

350 මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

රාහුල, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය,’ යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’ කණ ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැපද, ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි, ... කණෙහි ද කළ කිරෙයි ... නැහැයෙහි ද කළකිරෙයි ... දිවෙහි ද කළකිරෙයි, ... කයෙහි ද කළකිරෙයි ... සිතෙහි ද කළකිරෙයි. කළ කිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි කට යුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.

(පෙය්‍යාලනයින් සුත්‍රාන්ත දශය සංක්ෂෙප කට යුතු යි)

 

පළමුවැනි වූ  චක්‌ඛුආදි  සූත්‍රය නිමියේ ය.