දාරුණ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

5. ලාභසක්කාර සංයුත්‌තය

1. දාරුණ වර්ගය

5.1.1

දාරුණ සූත්‍රය

297. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

 

 

පළමු වැනි වූ   දාරුණ සූත්‍රය නිමියේ ය.