දුතිය සඞ්ගාම සූත්‍රය

 

3.2.5

දුතීයා සඞ්ගාම සූත්‍රය

  

126. සැවැත්නුවර -

 

එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. පසේනදි කොසොල් තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට පැමිණියේ යැ යි” ඇසීය.

 

ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. එකල්හි මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද පසේනදි කොසොල්රජ තෙමේ ද යුද කළහ. ඒ යුදෙහි දී පසේනදි කොසොල්රජ තෙමේ මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ජීවග්‍රාහයෙන් ද ඔහු අල්ලා ගත්තේ ය.

 

එකල්හි පසේනදි කොසොල් රජහට මේ අදහස විය: මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරණ මට ද්‍රෝහ කෙරෙයි. එතකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රිය සෙනඟ පැහැර ගෙණ, සියලුපාබල සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හරණෙම් නම් මැනව යි කියා යී.

 

ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුගේ සියලු ඇත් සෙනඟ පැහැර ගෙණ … ඔහු ජීවත්වන්නහු ම මුදා හළේ ය.

 

ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:

 

වහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල්රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ … කසීගම කරා ඉදිරියට පැමිණියේ ය යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධාධිපති වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, ඉක්බිති මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුධ කළ හ. වහන්ස, ඒ යුදෙහි දි පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ඔහු ජීවග්‍රාහයෙන් ද අල්ලා ගත්තේ ය.

 

වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජහට මේ අදහස විය: “මගධාධිපති වේදේහිපුත්‍ර මේ අජාතසත්තුරජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරන්නා වූ මට ද්‍රෝහ කෙරෙයි. එතෙකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රියසෙනඟ පැහැර ගෙණ, සියලු පාබල සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත්වන්නහු ම මුදා හරණෙම් නම් මැනවැ” යි කියා යි. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුගේ සියලු ඇත්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු අස්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු රිය සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු පාබලසෙනඟ පැහැර අල්ලා ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හළේ ය.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි දී මේ ගාථා වදාළ සේක:

 

යම් තාක් ඔහුට හැකි වේ ද, (ඒ තාක්) පුරුෂ තෙමේ වනසා ම ය. යම් කලෙක අන්‍යයෝ (තමා) නසද්ද, එකල්හි ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.

 

යම් තාක් පාපය විපාක නො දේ ද, (ඒ තාක්) අඥාන තෙමේ (සතුටට) කරුණකැ යි හැඟී. යම් කලෙකත් පාපය විපාක දේ ද, එකල්හි අඥාන තෙමේ දුකට පැමිණේ.

 

(මෙරමා) නසන්නා (තමා) නසන්නකු ලබයි, (මෙරමා) දිනන්නා (තමා) දිනන්නකු ලබයි. ආක්‍රෝශ කරන්නා ආක්‍රෝශ කරන්නකු ලබයි. කිපෙන්නා කිපෙන්නකු ලබයි. තව ද කර්මය මිහි කිරීමෙන් ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.

 

කෝසල සංයුත්තයේ අපුත්තක වර්ගයට අයත් පස්වැනි දුතිය සංගාම සූත්‍රය නිමියේ ය.