දෝණපාක සූත්‍රය

3.2.3

දෝණපාක සූත්‍රය

  

124. සැවැත්නුවර -

 

එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ තිඹක්සාලෙහි බත අනුභව කෙරෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනුභව කළේ මහත් කොට සුසුම් හෙළන සුලු වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පසේනදි කොසොල් රජු, අනුභව කළහු, මහත් කොට සුසුම් හෙළන්නහු දැන ඒ වේලාවෙහි මේ ගාථාව වදාළ සේක:

 

හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේ ය.

 

එකල්හි සුදස්සන මාණවක තෙමේ කොසොල් රජු පිටිපස සිටියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සුදස්සන මාණවකයා ඇමතී ය. දරුව, සුදස්සන, එව තෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය පිරිවහා මා බත් වළඳන කල්හි කියව. මම ද තට දවස් පතා කහවණු සියයක් නිත්‍ය භික්ෂාවක් (=වැටුපක්) පවත්වන්නෙමි යි. එසේ ය, දේවයන් වහන්සැ යි සුදස්සන මාණවක තෙමේ පසේනදී කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පිරිවහා පසේනදි කොසොල් රජ බත් වළඳන කල්හි කියයි:

 

“හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේයි.”

 

ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේ ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්ථයෙන් ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.

 

කෝසල සංයුත්තයේ අපුත්තක වර්ගයට අයත් තුන්වන දෝණපාක සූත්‍රය නිමියේ ය.