සත්තජටිල සූත්‍රය

3.2.1

සත්තජටිල සූත්‍රය

 

 

122. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පුවරම් නම් මුවරමා පහයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක් බිහිදොරකොටුවෙහි වැඩහුන් සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.

 

එකල්හි වැඩුනු කැසනියලොම් ඇති ජටිලයෝ සත් දෙනෙක් ද, නිගණ්ඨයෝ සත් දෙනෙක් ද, අචේලකයෝ සත් දෙනෙක් ද, ඒකසාටකයෝ සත් දෙනෙක් ද, පරිව්‍රාජකයෝ සත් දෙනෙක් ද නන් තවුස්පිරිකර ගෙණ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි (එ පෙදෙස) ගෙවා යෙති. ඉක්බිති පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද, අවේලකයන් සත්දෙන ද, ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද වෙත ඇඳිලි බැඳ “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි. … වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි”යි තෙවරක් නම ඇස්වී ය.

 

ඉක්බිති ඒ ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද අවෙලකයන් සත්දෙන ද එකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද ගිය නොබෝ වෙලෙහි පසේනදි කොසොල්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොව යම් ඒ කෙනෙක් රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, තුලුහු ඔවුනතරැ එක්තරා කෙනෙකැ”යි තෙල සැළ කෙළේ ය.

 

මහරජ, ගිහි වූ කම්සැප විඳින දරුවන්ගෙන් පළිබොධ ඇති යහන්හි වෙසෙන සිනිඳු සඳුන් ගල්වන මල්ගඳවිලෙවුන් දරණ රන්රිදී ඉවසන තොප විසින් ‘මොහු රහත්හු ය කියා හෝ මොහු රහත්මගට පිළිපන්නෝ ය යි’ කියා හෝ තෙල නොදත හැකි ය.

 

මහරජ, එක් ව විසීමෙන් ශීලය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නොමෙනෙහි කරන්නහු විසින් නො වේ. පැණැත්තහු විසිනි. පැණනැතියහු විසින් නො වේ. මහරජ, කථාව්‍යවහාරයෙන් පවිත්‍රබව දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. නුවණ නැතියහු විසින් නො වේ. මහරජ, විපතෙහි දී ඥානශක්තිය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නොවේ. නුවණැත්තහු විසිනි. මුඪයා විසින් නො වේ. මහරජ, සාකච්ඡා යෙන් නුවණ දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. ඥානහීනයා විසින් නො වේ.

 

වහන්ස, ආශ්චර්යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහනස, “,මහරජ ගිහි වූ කම්සැප විඳින තොප විසින් මෙය දුකසේ දතයුතුය … නුවණැත්තහු විසිනි. නුනුවණහු විසින් නො වේ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් දේශනා කරණ ලදි.

 

වහන්ස, මොහු මාගේ පවත් විමසන චරපුරුෂයෝ ය. ජනපදය විමසා එති. ඔවුන් පළමු කොට විමසන ලද පෙදෙසට මම පසු ව බැස ගන්නෙමි. වහන්ස, දැන් ඔහු රජස්දැලි සෝදා හැර මොනවට නෑවාහු මොනවට සුවඳවිලෙවුන් ගැල්වූවාහු අන්දම් තබා සැරසූ කෙස්රවුළු ඇත්තාහු සුදුවත් හැඳ ගැත්තාහු පස්කම්ගුණයෙන් පිණා ගියාහු යුක්ත වූවාහු ඉඳුරන් හසුරු වන්නාහ.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ගාථාවන් වදාළ සේක:

 

මිනිස් තෙමේ රූපසටහන් මැනවින් නො දත හැකි ය. ස්වල්පමාත්‍ර දර්ශනයෙන් නො අදහන්නේ ය. ඒ එසේ මැයි. සංයම නැත්තෝ මනාසංයම ඇත්තන්ගේ පරිෂ්කාරභාණ්ඩලක්ෂණයෙන් යුක්ත ව මෙලොව හැසිරෙත්.

 

ඇතුළත අපිරිසිදු වූ පිටත හොබනා වූ ඇතැම් කෙනෙක් ස්වර්ණප්‍රතිරූපක වූ මැටිමුවා කොඬොලක් මෙන් ද, රණින් වැසුන ලොහොමුවා අඩමස්සක් මෙන් ද පිරිවරින් වැසුනාහු හැසිරෙත්.

 

කෝසල සංයුත්තයේ අපුත්තක වර්ගයට අයත් පලවෙනි සත්තජටිල සූත්‍රය නිමියේ ය.