අප්පකා සූත්‍රය

3.1.6

අප්පකා සූත්‍රය

 

117. සැවැත්නුවර -

 

එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත ව එකලා ව හුන් මගේ සිත්හි මෙබඳු විතර්කයෙක් පහළ විය. යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙත් ද, නො ම පමා වෙත් ද, කාමයන්හි ගිජුබවටත් නො ද පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා නො පිළිපදිද්ද, ඒ සත්වයෝ ලොව ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ මත් වෙත් ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, මේ සත්වයෝ ම ලොව ඉතා බොහෝහ.

 

මහරජ, එසේ ය. මහරජ, එසේ ය. මහරජ, යම් කෙනෙක් ප්‍රණීතවූත් බොහෝ වූත් තෙල මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙද්ද, නො ම පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවට නො ද මහත් මහත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් නො ද වරදවා පිළිපදිද් ද, ඒ සත්වයෝ ලොව ඉතා ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් භොගයන් ලැබ මත් වෙද්ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙත් ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, ඒ සත්වයෝ ම ලොව ඉතා බොහෝහ.

 

කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්වයෝ කුසල් සීමාව ඉක්ම යෑම නො දනිත්. දමන ලද පාසය නො දන්නා මුවන් මෙනි. පසු ව ඔවුන්ට දුක වෙයි. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය යි.

 

කෝසල සංයුත්තයේ, බන්ධන වර්ගයට අයත්, සයවැනි අප්පකා සූත්‍රය නිමියේ ය.