දහර සූත්‍රය

112. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතු වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“භවත් ගෞතමයන් වහන්සේත් නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙම් ය” යි ප්‍රතිඥා කරණ සේක් ද? “මහරජ, මැනවින් කියන්නෙක් නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබොධ කළේ ය” යි යමකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නේ ඒ මා සඳහා කියන්නේ ය. මහරජ, මම වනාහි නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි.

භවත් ගෞතමයන් වහන්ස, පැවිදි සමූහයා ඇති පැවිදි ගණයා ඇති ගණාචාර්ය වූ ප්‍රසිද්ධ වූ යසගී ඇති ලබ්ධිකර වූ (අඳබල්) බොහෝදෙනා විසින් සාධු සම්මත වූ යම් ඒ මහණබමුණෝ ඇද්ද ඔහු කවරහ: පූර්ණකස්සප ය, මක්ඛලිගොසාල ය, නිගණ්ඨනාතපුත්ත ය, සඤ්ජය බෙලට්ඨපුත්ත ය, පකුධකච්චායාන ය, අජිතකෙසකම්බල ය යන මොහු යි. ඔහුත් “නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළම්හ යි ප්‍රතිඥා කරහු දැයි මා විසින් විචාරණ ලද්දාහු “නිරුත්තර සම්මාසම්බෝධිය අවබොධ කළම්හ” යි ප්‍රතිඥා නො කෙරෙත්. කීම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුදු ලදරු වන සේක. පැවිදෙනුත් නවක වන සේක.

මහරජ, මේ සිවු දෙනෙක් ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරු හ යි පරිභව නො කට යුත්තාහ. කවර සිවු දෙනෙක යත්: මහරජ, ක්ෂත්‍රිය තෙමේ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, සර්පයා ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, ගිනි ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මහණ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මේ සිවු දෙන ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරුහ යි පරිභව නො කට යුත්තාහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. තවද සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති අන්‍ය තෙල ගය ද වදාළ සේක.

මිනිස් තෙමේ ජාතිසම්පන්න වූ විශිෂ්ට කුලයෙහි උපන් සශසර්ව වු කැත් කුමරා ලදරු ය යි අවමන් නො කරන්නේ ය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.

තව කරුණෙක් ඇත. මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ඒ ක්ෂත්‍රිය තෙමේ රජය ලැබ කිපියේ (තමහට අවමන් කළ) ඔහු කෙරෙහි රාජදණ්ඩයෙන් අත්‍යර්ථයෙන් උපක්‍රම කෙරේ. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.

ඉදින් මිනිස් තෙමේ ගම්හි හෝ අරණෙහි හෝ යම් තැනක සර්පයෙකු දක්නේ ද? ඔහු ලදරු ය යි අවමන් නො කරන්නේය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.

තේජසර්ව වූ සර්ප තෙමේ නන් වැදෑරුම් වෙසින් හැසිරෙයි. හෙ කිසි විටෙක (තමන්ට අවමන්) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ දෂ්ට කරන්නේ ය. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.

ප්‍රභුතභක්ෂා ඇති (බොහෝ දේ දවන) ගිනිදැල් ඇති කළුමග ඇති ගින්න ලදරු ය යි අවමන් නො කරන්නේය. මිනිස් තෙමේ ඊට පරිභව ද නො කරනෙනේ ය.

ඒ ගින්න පසයන් ලැබ විශාල ව ඇතැම් විටෙක (තමන්ට අවමන් කළ) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ ඩැහැ ගන්නේ ය. එහෙයින් තම දිවි රක්නේ එය නො ගටන්නේ ය.

කළුමග ඇති පාවක නම් වූ ගින්න යම් වනයක් ඩැහැගන්නේ ද, දවරැය ඉක්ම ගිය කල්හි එහි ප්‍රරෝහයෝ (මුලින් නගින අකුරු) හට ගණිත්.

සිල්වත් මහණෙක් තෙදින් යමකු දවා ද? ඔහුට පුත්‍රයෝ ද සිවුපාවෝ ද නො වෙත්. දායාදයෝ ධනය නො ලබත්. (මෙසේ) ඔහු දරුවන් නැත්තාහු දායාදයන් නැත්තාහු මුදුන සුන් තල්රුක්බඳු වෙත්. එහෙයින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ සර්පයා ද, ගිනි ද, කීර්තිමත් ක්ෂත්‍රියයා ද, සිල්වත් මහණහු ද මැනවින් ම ඇසුරු කරන්නේ ය.

මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහු ය යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලදී, වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට තෙරුවන් සරණ ගිය මා උපාසකයෙකු කොට දරණ සේක්වා යි.

බන්ධන වර්ගයේ පලමු වෙනි දහර සූත්‍රය නිමියේ ය.