බන්ධන සූත්‍රය

3.1.10

බන්ධන සූත්‍රය

  

121. සැවැත්නුවර -

 

එකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතම්හු රැහැණින් ද, ඇතම්හු යදමින් ද, ඇතම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්.

 

එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි පසේනදි කොසොල්රජු විසින් ඇතම්හු රැහැණින් ද, ඇතම්හු යදමින් ද, ඇතම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු ය” යි තෙල සැළ කළහ.

 

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක.

 

යමුවා වූ ද දැවමුවා වූ ද බබුස්තණමුවා වූ ද යම් බන්ධනයෙක් වේ ද, ඒ බන්ධනය දැඩි ය යි ප්‍රාඥයෝ නො කියත්. මිණිකොඬොල්හි ද දරුවන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද දැඩිඇලුමින් ඇලුන යම් අපේක්ෂායෙක් වේ ද,

 

යට (=සිවු අපායට) ඇද ලන ලිහිල් වූ මිදීමට දුෂ්කර වූ මේ බන්ධනය දැඩි ය යි නුවණැත්තෝ කියත්. කාමයන්හි අපේක්ෂා නැත්තාහු මේ බන්ධනය ද සිඳ කම්සුව හැර දමා ගිහිගෙය හැර යෙත්.

 

කෝසල සංයුත්තයේ බන්ධන වර්ගයට අයත් දසවැනි බන්ධන සූත්‍රය නිමියේ ය.