අච්ඡරා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

_____

5වෙනි ආදිත්ත වර්ගය

1.5.6

අච්ඡරා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

 

අප්සරාවන් සමූහයක් විසින් සුඝෝෂිත වූ පිශාචයන් වැනි ඒ අප්සරාවන් සමූහයා විසින් සෙව්නා ලද මේ වනය මෝහය නමි. (එයින්) නික්ම යෑම කෙසේ  වන්නේ ද?

[භාග්‍යවතුන් වහන්සේ]

ඒ මාර්ගය උජුකා නම් වේ දිසාව අභයා නම් වේ. ධර්මචක්‍රයන් ගෙන් යුක්ත ඒ රථය අකූජන නම් වේ.

 

හිරි ඔතප් දෙක ඒ රථයේ වැතිර ගන්නා පුවරු (ඇඳි)යි. සිහිය ඒ රථයේ පිරිකරයි (සැරසිල්ලයි). විදර්ශනා සම්‍යග්දෘෂ්ඨිය පෙරටු කොට යන ලෝකොත්තර මාර්ග ධර්මය (එහි) රියදුරා යයි මම කියමි.

යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ මේබඳු යානයෙක් වේ නම් හෙතෙමේ ඒකාන්තයෙන් මේ යානයෙන් නිවණ සමීපයෙන් නිවණ සමීපයෙහි ම වේ.

සතළිස් සයවැනි අච්ඡරා සූත්‍රය  නිමියේ ය.