අන්න සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

_____

5වෙනි ආදිත්ත වර්ගය

1.5.3

අන්න සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

දෙව්මිනිස් දෙකොටස වූවෝ ආහාරය ම පතත්. යම් හෙයකින් යමෙක් ආහාර නො පතා නම්, හේ කවර නම් යකෙක් ද?

[භාග්‍යවතුන් වහන්සේ]

යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාර දෙද්ද, මෙලොව්හි ද පරලොව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.

එහෙයින් මසුරු මල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින සත්ත්වයනට පරලොව පිහිට වේ.

සතලිස් තුන්වැනි අන්න සූත්‍රය නිමියේ ය.