ආදිත්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

_______

5 වෙනි ආදිත්ත වර්ගය

_____

1.5.1

ආදිත්ත සූත්‍රය.

 

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

ගෙය ගිනිගත් කල (ගෙහිමියා) යම් භාජනයක් බැහැර කෙරේ ද, එය ඔහුට ප්‍රයෝජන පිණිස වෙයි. යමක් එහි දැවේ ද, එය (ප්‍රයෝජන පිණිස) නොවේ.

මෙසේ ලෝවැසි තෙමේ ජරායෙන් හා මරණයෙන් ද ඇවිළ ගන්නා ලද්දේ ය. (එහෙයින්) දානයෙන් ම බැහැර කරන්නේ ය. දෙන ලද්ද මැනවින් බැහැර කරන ලද්දේ වෙයි.

දෙනලද්ද සුවපල ඇත්තේ වේ. නො දෙන ලද්ද එසේ නොවේ. ඒ (නුදුන්) දෙය සොරු හැර ගණිත්, රජහු හෝ හැරගණිත්, ගින්න හෝ දවාලයි. (තුබූ තැන ම හෝ) නැසෙයි. යලි නො නැසුනු භෝග සහිත සරීරය මරණයෙන් හැර පියයි.

නුවණැත්තේ මේ කරුණ දැන අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය. ශක්තිපරිද්දෙන් දී අනුභව කොට අනින්දිත වූයේ සවර්ගස්ථානයට පැමිණේ.

සතළිස් එක් වැනි  ආදිත්ත සූත්‍රය නිමියේ ය.