ජේතවන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

_____

5වෙනි ආදිත්ත වර්ගය

1.5.8

ජේතවන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති අනාථපිණ්ඩික දෙවිපුත් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

භික්ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද ධර්මරාජ වූ බුදු රජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද මේ ඒ ජේථවනය මට ප්‍රිය උපදවන්නේ ය.

කර්මය ද, විද්‍යාව ද, සමාධිය ධර්මය ද, උතුම් ජීවිතය වූ ශීලය ද, යන මෙයින් සත්ත්වයෝ පිරිසිදු වෙත් ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.

එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස් කරන්නේ ය. මෙසේ ඒ ආර්‍යමාර්ගයෙහි පිරිසිදු වෙයි.

ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, ව්‍යුපසමයෙන් ද, ශාරීපුත්‍රස්ථවීරයන් වහන්සේ  ම (උතුම්හ) පරතෙරට (නිවනට) පැමිණි යම් මහණෙක් වේ නම්, මේ ශාරීපුත්‍රස්ථවීරයන් වහන්සේ ම උතුම් කොට ඇත්තේ වන්නේ ය යි.

 

සතළිස් අටවැනි ජේතවන සූත්‍රය  නිමියේ ය.