සමිද්ධි සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

2

නන්දන වර්‍ගය

ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

 

1.2.10

 

සමිද්ධි සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක.

 

එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ රෑ අළුයම නැගිට ගාත්‍රයන් දෝනා පිණිස තපෝදා නදිය වෙත එළඹියහ. තපෝදානදියෙහි ගාත්‍රයන් දෝවා ගොඩ නැඟී ඇඟ තෙත සිඳුවමින් එක් සිවුරක් ඇතිව සිටියහ.

 

එකල්හී මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ වෙත එළැඹියා ය. එළඹ අහස්හි සිටියා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ගාථායෙන් කීවා ය:

 

මහණ නො වළඳා සිඟහි. වළඳා නොම සිඟහි. මහණ වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා.

 

[සමිද්ධි:]

 

මම කාලය නොදනිමි. කාලය වැසුණේ නො පෙණෙයි. එහෙයින් ‘කාලය මා නහමක් ඉක්ම යේවා’ යි නො වළඳා සිඟමි.

ඉක්බිති ඒ දෙව්දුව පොළොවෙහි පිහිටා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය කීවා ය.

මහණ තෝ තරුණ පැවිද්දෙහි මනා කලුකෙහෙ ඇතියෙහි, සොඳුරු යොවුනෙන් හා පලමු වයසින් යුක්තයෙහි, කාමක්‍රීඩා නො කළ සුලුයෙහි, මහණ, මානුසික කාමයන් අනුභව කරනු මැනව. මෙලොව පස්කම් සැප හැර පියා පරලොව (කාලෙකින් ලැබෙන) සැප නහමක් ලුහුබඳුව.

 

[සමිද්ධි:]

 

ඇවැත්නි මම මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නොම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර පියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙන දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය. මේ ධර්මය තමා විසින් දැක්ක යුත්තේ ය. කල් නො යවා විපාක දෙන්නේ ය. එව, බලවයි’ කීමට සුදුසු ය. තම සිත්හි එළවා තැබීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දත යුත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.

[දෙව්දූ:]

 

මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ, බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාසය ඇත්තෝ ය, මෙහි දෝෂයෝ බොහෝ ය. (කියාත්) ‘කෙසේ නම්’ මේ ධර්මය සන්දෘෂ්ඨික ය අකාලික ය. ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු ද. ?

[සමිද්ධි:]

ඇවැත්නි මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙසස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නො පොහොසත්මි. අර්හත් වූ සම්මා සම්බුදු වූ මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පිරිද්දෙකින් තිට ප්‍රකාශ කරණ සේක් ද? එපරිද්දෙන් එය දරව.

 

[දෙව්දූ:]

මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙන්නට සුකර නො වෙත්. අනෙක් මහේසාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරන්නාහු නම් අපි දු බණ අසන්නට එන්නෙමු.

 

ඇවැත්නි එසේ ය යි ආයුෂ්මත් සමිද්ධිස්ථවීර තෙමේ ඒ දෙව්දුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධිස්ථවීර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

 

වහන්ස, මෙහි මම රෑ අළුයම නැගිට ගාත්‍රයන් දෝනට තපෝදාව වෙත එළැඹියෙමි. තපෝදාවෙහි ගාත්‍රයන් දොවා ගෙණ ගොඩ නැගී සිරුර තෙත සිඳුවමින් එක් සිවුරක් ඇතිව සිටියෙමි.  වහන්ස, එකල්හී මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙව්දුවක් රැය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාවම බබුලුවා මා වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටියා මේ ගාථාවෙන් කීවූය:

 

‘‘මහණ, නො වළඳා සිඟහි. වළඳා නො ම සිඟහි. මහණ වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා’’ යි.

 

වහන්ස, එසේ කී කල්හී මම ඒ දෙව්දුවට ගාථායෙන් පිළිතුරු දිනිමි.

‘‘මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණේ. එහෙයින් කාලය මා නහමක් ඉක්ම යේවා යි නො වළඳා සිඟමි.’’ යි

වහන්ස, එකල්හි ඒ දෙව් දූ තොමෝ පොළවෙහි පිහිටා මට මෙය කිවූය: ‘‘මහණ නුඹ වහන්සේ තරුණ පැවැදි කෙනෙකි මනා කළුකෙහෙ ඇති කෙනෙකි. යොවුන් හා පලමු වයසින් සමන්වාගතයහ. කාමක්‍රීඩා නො කළ කෙනෙකි. මහණ, මානුසිකකාමයන් අනුභව කරව. මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නහමක් ලුහුබඳුව’’ යි.

වහන්ස, එසේ කී කල්හී මම ඒ දෙව්දුවට මෙය කීයෙමි. ‘‘ඇවැත්නි, මම මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නොම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබන සැප හැර දමා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය. (කියාත්) මේ ධර්මය සන්දිෂ්ඨික ය අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තම තමා කෙරෙහි ලා දත යුතු’ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.’’

වහන්ස, එසේ කී කල්හී ඒ දෙව්දූ මට මෙය කිවූය:  ‘මහණ කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය. (කියාත්) කෙසේ නම් ධර්මය සන්දිට්ඨිකය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය’ (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු?’’

වහන්ස, එසේ කී කල්හී මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: ‘‘ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මේ සසුනට අලුත පැමිණියෙක්මි. මම විස්තර වසයෙන් කියන්න නොහැක්කෙමි. අර්හත් වූ සම්මාසම්බුදු වූ මේ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තට ප්‍රකාශ කරණ සේක නම් ඒ පරිද්දෙන්  එය දරව’’ යි

වහන්ස, මෙසේ කී කල්හී ඒ දෙව්දූ මට මෙය කිවූ ය. ‘‘මහණෙ, ඒ භාග්‍යවතුන් වහන්සේ අප විසිනි එළැඹෙන්නට සුකර නො වෙති. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ මේ අරුත විචාරන්නහු නම් අපි දූ දහම් ඇසීමට එන්නෙමු’’ යි වහන්ස, ඒ දෙව්දුවගේ වචනය ඇත්ත වේ නම් ඒ දෙව්දූ මෙහි නුදුරෙහි ය’’ යි

එසේ කී කල්හී ඒ දේව්දූ ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට ‘‘මහණ විචාරණු මැනව, මහණ , විචාරණු මැනව. මේ මම පැමිණියෙමි’’ යි මෙය කිවූ ය:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට ගාථායෙන් වදාළ සේක:

සත්ත්වයෝ පඤ්චස්කන්ධයෙහි සත්ත්වපුද්ගලාදී සංඥා ඇත්තෝ ය. පඤ්චස්ඛන්ධයෙහි (තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන්) පිහිටියාහු ය. පඤ්චස්ඛන්ධයන් පිරිසිඳ නො දැන මාරයාගේ වසයට යෙත්.

පඤ්චස්ඛන්ධයන් පිරිසිඳ දැන සත්ත්වපුද්ගලාදී වශයෙන් කිසිවකු නො හඟී. යම් හෙයෙකින් ඔහුට ඒ මඤ්ඤනා නො වේ ද (එහෙයිනි) යම් කරුණෙකින් ඔහුට රාගරත්තාදී වශයෙන් කියන්නේ නම් ඒ කරුණ ද ඔහුට නැත. එම්බා දෙව්දුව, ඉදින් (එබඳු රහතකු) දිනිහ නම් කියවයි.

[දෙව්දූ:]

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත් විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් යම් සේ මම දැන ගන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එපරිද්දෙන් මට වදාරණු මැනවි යි.

 

[භාග්‍යවතුන් වහන්සේ:]

ප්‍රඥප්තිය හළේ ය. විවිධ මානයට (නවවිධ හෝ ත්‍රිවිධ මානයට) නො ගියේ ය. නොහොත් මව්කුසට නො යන්නේ ය. මේ නාමරූප සඞඛ්‍යාත පඤ්චස්ඛන්ධයෙහි තෘෂ්ණාව මුලසුන් කෙළේ ය. සුන් කළ කෙලෙස් ගැට ඇති නිදුක් වූ තෘෂ්ණා රහිත වූ ඒ ක්ෂීණාස්‍රවයා සොයන්නා වූ දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, මෙලොව හෝ පරලොව හෝ ස්වර්ගයන්හි හෝ සියලු සත්ත්ව නිවේසනයන් හී හෝ දකිත්. එම්බා දෙව්දුව ඉදින් දනිහි නම් කියව.

 

[දෙව්දූ]

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම මේ දනිමි.

 

වචනයෙන් ද සිතින් ද කයින් ද කිසි පවක් නො කරන්නේ ය. මුළු ලොව්හි සියලු කාමයන් හැර සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ අනර්ථ සහිත වූ දුක් නො සෙවුනේ ය.

 

විසි වෙනි සමිද්ධි සූත්‍රය නිමියේ ය.