නමානකාම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______ 

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

1.නළවර්‍ගය

ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. 

1.1.9

නමානකාම සූත්‍රය 

මා විසින් මෙසේ අසන ලදි. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා වර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. 

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළකෙළේ ය. 

මෙහි මානය කැමැත්තහුට දමයෙක් (හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමඟ නුවණෙක්) නැත. වනයෙහි හුදෙකලා ව ප්‍රමත්ත ව වෙසෙනේනේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය. 

[භාග්‍යවතුන් වහන්සේ:]

මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදෙකලාව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ ය. 

නවවැනි වූ නමානකාම සූත්‍රය.