නිමොක්ඛ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

1.නළවර්‍ගය

ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. 

1.1.2

නිමොක්ඛ සූත්‍රය. 

මා විසින් මෙසේ අසන ලදි. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා වර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: 

[දෙවි:] 

නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ සත්ත්වයන්ගේ නිමෝක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද, දන්නා සේක් ද? 

[භාග්‍යවතුන් වහන්සේ:] 

ඇවැත්නි මම සත්ත්වයන්ගේ නිමෝක්ඛය (=මාර්‍ගය) ද පමෝක්ඛය (=ඵලය) ද විවේකය (=නිවණ) ද දනිමි. 

[දෙවි:] 

නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් සත්ත්වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද,  දන්නා සේක ද? 

[භාග්‍යවතුන් වහන්සේ:] 

ඇවැත්නි, තෘෂ්ණාව මුල් කොට ඇති කර්‍මභවය ක්ෂය කිරීමෙන් ද, සංඥා විඥානයන් ගෙවාලීමෙන් ද, වේදනාවන්ගේ නිරෝධයෙන් හා සන්හිඳීමෙන් ද මම මෙසේ සත්ත්වයන්ගේ නිමොක්ඛය, පමොක්ඛය ද, විවේකය ද,  දනිමියි. 

දෙවෙනි නිමොක්ඛ සූත්‍රය නිමියේ ය.