උජ්ඣාණසඤ්ඤී සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

 

4. සතුල්ලපකායික වර්ගය

1.4.5

උජ්ඣානසඤ්ඤී සූත්‍රය

 

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේථවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති බොහෝ උජඣානසඤ්ඤී දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ අහසෙහි සිටියහ. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

 

යම් මහණෙක් අන් අයුරෙකින් පවත්නා තමා අන් අයුරෙකින් (ඇතිසැටි වළහා) ප්‍රකාශ කරන්නේ ද, ලිහිණි වැද්දාගේ (ලිහිණිමස් කෑම) මෙන් ඔහු විසින් ඒ සිවුපසය වඤ්චායෙන් රවටා හොරකමින් අනුභව කරණ ලද්දේ ය.

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

යමක් කරන්නේ නම් එය  ම කියන්නේ ය. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ ය. කියන්නවුන් අතුරෙන් නො කරන්නහු පණ්ඩිතයෝ දැන ගනිත්.

 

යම් මේ ප්‍රතිපදායෙක් දැඩි ද, ධ්‍යාන කරණසුලු පණ්ඩිතයෝ යම් ප්‍රතිපදායෙකින් මාරබන්ධනයෙන් මිදේ ද, මේ ප්‍රතිපත්තිය කථිතමාත්‍රයෙකින් හෝ ශ්‍රවණමාත්‍රයෙකින් හෝ පිළිපදින්න නොහැකි ය.

 

සංස්කාරලෝකයාගේ උදයව්‍යයස්වභාවය දැන (චතුස්සත්‍යය) අවබෝධ කොට ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළා වූ (ක්ලේශ පරිනිර්වාණයෙන්) පිරිනිවියා වූ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් (මෙසේ) නො කෙරෙත්.

 

ඉක්බිති ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැඳ වැටී. භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු අපි බාල බවට අනුරූප සේ මූඨබවට අනූරූපසේ අදක්ෂබවට අනුරූප සේ, භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් ගැටිය යුත්තකු කොට සිතුමු ද, ඒ වරද අප ඉක්ම ගියේ ය. වහන්ස, ඒ අපගේ වරද, ආයතිසංවරය පිණිස වරද වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා.” යි මෙය සැළ කළහ.

 

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කළ සේක.

 

එකල්හී ඒ දේවතාවෝ බොහෝ සෙයින් දොස් පහළ කෙරෙමින් අහසට නැංගාහ.

 

එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය,

 

යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණී ද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ ඒකාන්තයෙන් වෛර(තමා කෙරෙහි) බැඳ තබයි.

 

 

[භාග්‍යවතුන් වහන්සෙ;]

 

ඉදින් මෙහි වරදෙක් නැත් නම්, ඉදින් අපරාධයෙකුත් නො වන්නේ නම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, එයින් මෙහි (නිරවද්‍යචර්‍ය්‍යායෙහි) දක්ෂයෙක් වන්නේ ය.

[දේවතාවා:]

 

කවරකුගේ වැරැද්ද නැද්ද? කවරකුගේ අපරාධ නැද්ද? කවරෙක් මූළාවට නො පැමිණේ ද? කවරෙක් හැම කල්හි සිහි ඇත්තේ ද? පණ්ඩිත ද?

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

චතුස්සත්‍යය අවබෝධ කළා වූ හැම සතුන් කෙරෙහි අනුකම්පා ඇති ඒ තථාගතයන් වහන්සේගේ වැරදි නැත. උන් වහන්සේගේ අපරාධ නැත. උන් වහන්සේ මුළාවට නො පැමිණෙත්. මේ ලෝකයෙහි උන් වහන්සේ ම හැම කල්හි සිහි ඇති සේක. පණ්ඩිත සේක.

 

ඉදින් යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණී ද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි. ඒ වෛරය නො පිළිගණිමි. තොපගේ වරද පිළිගණිමි යි.

 

තිස් පස් වැනි උජ්ඣානසඤ්ඤී සූත්‍රය නිමියේ ය.