චුල්ලපජ්ජුන්නධීතු සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

 

4. සතුල්ලපකායික වර්ගය

1.4.10

චුල්ලපජ්ජුන්නධීතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල පර්ජන්‍යයාගේ දුව වූ මනා ඡවිවර්ණ ඇති චුල්ලකෝකනදා තොමෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මූළු මහ වනයම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දු වූ චුල්ලකෝකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කිවූය:

පර්ජන්‍යයාගේ දුව වූ විදුලිය එළිය වැනි පැහැ ඇති කෝකනදා තොමෝ මෙහි අවූ ය. බුදුන් ද දහම් ද වඳිමින් අර්ථවත් වූ මේ ගාථා ද කිවූ ය.

ඒ (ස්වල්ප වූ ද) ධර්මය බොහෝ ක්‍රමයෙනුදු බෙදන්නෙමි. ඒ ධර්මය එබඳු ය. මවිසින් සිතින් යම් තාක් පුහුණු කරන ලද්දේ ද (එ හැම නො කියා) සංක්ෂේපමාත්‍රයක් කියන්නෙමි.

වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුළුලොව කිසි පවත් නො කරන්නේ ය. සිහි ඇත්තේ මනානුවණින් දන්නේ කාමයන් හැරපියා අනර්ථයෙන් යුක්ත වූ දුක නො සෙවුනේ යි.

 

සතළිස් වැනි චුල්ල පජ්ජුණ්නධීතු සූත්‍රය නිමියේ ය.