පජ්ජුන්නධීතු සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

 

4. සතුල්ලපකායික වර්ගය

1.4.9

පජ්ජුන්නධීතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල් පුර සමීපයෙහි වූ මහ වෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි පර්ජන්‍ය (වස්සවලාහක) දෙවිහුගේ දුව වූ මනා ඡවිවර්ණ ඇති කොකනදා තොමෝ මුළු මහ වනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ කෝකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගථාවන් කීවූ ය:

මම කෝකනදා වෙමි. පර්ජන්‍යයාගේ දුව වූ කෝකනදා (නම් වූ මම)විසල් පුර මහ වෙනෙහි වැඩ වසන සත්ත්වයාට අග්‍ර වූ සර්වඥයන් වහන්සේ සකසා වඳිමි.

පසැස් ඇත්තා වූ බුදු රජාණන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරණ ලද්දේ ය යි මා විසින් පෙර අසන ලද පමණෙක් ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත මුනිහුගේ ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස දනිමි.

නුවණ නැත්තා වූ යම් කිසි කෙනෙක් ආර්‍ය ධර්මය ගරහමින් හැසිරෙද්ද ඔහු දරුණු වූ රෞරව  නිරයට පැමිණෙත්. බොහෝ කලක් දුක් අනුභව කෙරෙත්.

යම් කෙනෙක් ආර්‍යධර්මයෙහි ක්ෂාන්තියෙන් හා ව්‍යුපශමයෙන් යුක්ත වූවාහු ද (ඔහු) මිනිස් සිරුර හැරපියා දෙව්පිරිස පුරා ලන්නාහ.

තිස් නව වැනි පජ්ජුන්නධීතු සූත්‍රය නිමියේ ය.