මච්ඡරී සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

1.4.2

 

මච්ඡරී සූත්‍රය

 

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේථවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ජවිවර්ණ ඇති බොහෝ වු සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය :

 

මසුරුකමින් ද ප්‍රමාදයෙන් ද මෙසේ දන් නො දෙනු ලැබේ. පින් කැමැති (දානඵල) දන්නහු විසින් දිය යුතු වේ.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

 

මසුරු පුද්ගල තෙමේ යමකට බිය වූයේ දන් නො දේ ද, නො දෙන ඔහුට එය ම බිය වේ. මසුරු පුද්ගල තෙමේ යමකට බිය වේ ද, ඒ බඩසය ද පවස ද ඒ බාලයා ම මෙලොව්හිත් පරලොව්හිත් පහස්නේ ය.

 

එහෙයින් මසුරුමල මැඬ ලන පුද්ගල තෙමේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් පරලෙව්හි දී සතුටින් පිහිට වේ.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

 

යම් කෙනෙක් මඟ කැටු වැ යනුවනට (ලද දෙය බෙදා දෙන්නාක්) සෙයින් ස්වල්පයක් ඇති කල්හිත් දෙත් ද, ඔහු (අදාන මරණයෙන්) මළවුන් අතර නො මියෙත්. මේ පැරණි දහමෙකි.

 

ඇතැම්හු ස්වල්පයක් ඇති කල්හිත් දෙත් ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්වාගත වූවාහු ද නො දෙත් මඳ දෙයින් දෙන ලද දක්ෂිණාව දහසක් (දහසෙකින් දෙන ලද දන) හා සමයයි ප්‍රමාණ කරණ ලදි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

 

අසත්පුරුෂයෝ (ස්වල්පයක් ඇති කල්හි දීම වූ) දුෂ්කර දානය දෙන දුෂ්කර (සුචරිත) ක්‍රියා කරණ (සත්පුරුෂයන්ට) අනුක්‍රියා නොරෙත්. සත්පුරුෂයන්ගේ ධර්මය දුෂ්පූර ය. (එහෙයිනි.)

 

එහෙයින් සත්පුරුෂයන්ගේත් අසත්පුරුෂයන්ගේත් මෙලොවින් පරලොව යෑම එකිනෙක වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යෙත් සත්පුරුෂයා ස්වර්ගපරායණ වෙත්.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: භාග්‍යවතුන් වහන්ස කවරකු විසින් මැනවින් කියන ලද ද?

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

තොප සියල්ලන් විසින් කරුණු විසින් මැනවින් කියන ලදි. යලිදු මගේ (වචනය ) ද අසවු:

 

යමෙක් උඤ්ජාචරියාවෙහි  හැසිරෙන්නේ (කලවිටි ශුද්ධකිරීම පිදුරු පෙළිම ආදී වසයෙන් දුක සේ ජීවිකාව පවත්වන්නේ) අඹුදරුවනුත් පෝෂණ්‍ය කරමින් ස්වල්පක් ඇති කල්හිත් දෙමින් දහම්හි හැසිරෙන්නේ ද, සහස්‍රයාග කළ ලක්ෂයක් දෙනකුගේ ඒ යාගක්‍රිවෝ එබඳු දිළින්දාගේ (දාන ක්‍රියාවන් පිළිබඳ) ශතභාගයකුත් නො අගිත්.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

 

මහත් උදාරබවට පැමිණි මේ දානය දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට කුමක් හෙයින් නොපැමිණේ ද? සහස්‍රයාග කළ ලක්ෂකයක් දෙනකන්ගේ ඒ දානක්‍රියාවෝ කෙබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් කෙසේ නම් නො අගිත් ද.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාට ගාථායෙන් වදාළ සේක:

 

කෙනෙක් විෂම වූ (කායවාග්මනො) කර්මයෙහි පිහිටියාහු (මෙරමා) තළා මරා යලි ශෝකි කරවා දෙත් ම ය. (කඳුළු වැකුණු මුහුණු ඇති කොට මෙරමාහට දඬුවම් කොට දුන් හෙයින්) අස්සුමුඛ නම් වූ සදණ්ඩ නම් වූ ඒ දක්ෂිණාව දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට නො පැමිණේ. සහස්‍රයාග කළ ලක්ෂයක් දෙනකුන්ගේ ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දාන ක්‍රියා පිළිබඳ ශතභාගයකුත් මෙසේ නො අගිත්.

 

තිස් දෙවැනි මච්ඡරී සූත්‍රය නිමියේ ය.