සද්ධා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

 

4. සතුල්ලපකායික වර්ගය

 

1.4.6

 

සද්ධා සූත්‍රය

 

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි විශිෂ්ඨ ඡවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.

 

එකත්පසෙක සිටි එක් දෙවියෙක් බාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

 

පුරුෂයාට ශ්‍රද්ධාව දෙවැනි වේ. ඉදින් සැදැහැ නැති බව නො සිටී නම්, ඒ හේතුවෙන් ඔහුට පිරිවරද කීර්තිය ද වෙයි. හෙතෙමේ සිරුර හැර පියා සවර්ගයට යෙයි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

 

ක්‍රෝධය දුරලන්නේ ය. මානය වෙසෙසින් බැහැර ලන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාම රූප දෙක්හී නො ඇලෙන කෙලෙස් පළිබෝධ රහිත වූ ඔහු මත සඞ්ඝයෝ නො වැටෙත්.

 

බාල වූ නුවණ නැත්තා වූ ජනයෝ ප්‍රමාදයේ යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනය මෙන් රකී.

 

ප්‍රමාදයෙහි නහමක් යෙදෙන්නේ ය. කාමරතියෙහි යෙදීම නො කරන්නේ ය. අප්‍රමත්ත පුද්ගල තෙමේ වනාහි ධ්‍යාන කරන්නේ උතුම් සුවයට පැමිණෙයි.

 

සතිස් වැනි සද්ධා සූත්‍රය නිමියේ ය.