සබ්භි සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

1.4.1

සබ්හි සූත්‍රය.

මා විසින් මෙසේ අසල ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේථවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

 

එකල්හී මනා ජවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.

 

එකත්පසෙක සිහි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:

 

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංතවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියහුට) අභිවෘද්ධිය වෙයි. පිරිහීමෙක් නො වෙයි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

 

සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංන්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් ප්‍රඥාව ලැබේ අනෙකකින් නො ලැබේ.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

 

සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංන්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් ශෝක කාරණයන් මැද ශෝක නො කෙරේ.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :

 

සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංන්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් නෑයන් මැඳ වෙසෙසින් බබලයි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :

 

සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංන්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සත්ත්වයෝ සුගතියට යෙත්.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :

 

සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංන්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සත්ත්වයෝ බොහෝ කල් සුවසේ සිටිත්.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ කීය :

 

භාග්‍යවතුන් වහන්ස! කවරකු විසින් මැනවින් කියන ලද්දේ ද?

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

තොප සියල්ලන් විසින් කරුණු වශයෙන් මැනවින් කියන ලදි. වැලිදු මගේ (වචනය) ද අසවු:

 

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංත්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.

 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදන් වූහයි.

 

තිසි එක් වැනි සබ්භි සූත්‍රය නිමියේ ය.