සාධු සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

1.4.3

සාධු සූත්‍රය.

මා විසින් මෙසේ අසල ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේථවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

 

එකල්හී මනා ජවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.

 

එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කළේ ය:

 

නිදුකානන් වහන්ස, දීම මැනවි.

 

මසුරු කමින් ද, ප්‍රමාදයෙන් ද මෙසේ දානය නො දෙනු ලැබේ. පින් කැමැති (පින්ඵල) දන්නහු විසින් දිය යුතු වෙයි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කළේ ය:

 

නිදුකානන් වහන්ස, දීම මැනවි. තව ද මඳක් ඇති කල්හිත් දීම මැනවි.

 

ඇතැම්හු මඳක් ඇති කල්හිත් දෙති. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්වාගත වූවාහු ද නො දෙති. මඳෙකින් දෙන ලද දක්ෂිණාව දහසක් හා සම යයි ප්‍රමාණ කරන ලදි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.

 

නිදුකානන් වහන්ස, දීම මැනවි ස්වල්පයක් ඇති කල්හි දීමත් මැනවි. තව ද ශ්‍රද්ධායෙන් දීමත් මැනවි.

 

දානයත් යුද්ධයත් සමාන යයි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.

 

නිදුකානන් වහන්ස, දීම මැනවි මඳක් ඇති කල්හී දීමත් මැනවි. දැදැහැයෙන් දීමත් මැනවි. තව ද, දැහැමින් ලද දෙයක් දත් දහම් ඇති ආර්‍ය පුද්ගලයකුට දීමත් මැනවි.

 

යම් සත්ත්වයෙක් උත්සාහයෙන් හා වීර්‍ය්‍යයෙන් ලැබූ වස්තු දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයෙකුට දන් දේ ද, ඒ මිනිස් තෙමේ යමයාගේ වෙතරණී නිරය ඉක්මවා දිව්‍යස්ථානයන්ට පැමිණේ.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය.

 

නිදුකානන් වහන්ස, දීම මැනවි, මඳක් ඇති කල්හිත් දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි තවද (දානවස්තූන් හා ප්‍රතිග්‍රාහකයන්) තෝරාගෙණ දීමත් මැනවි.

 

තෝරාගෙන දීම භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලදි. මේ සත්ත්වලෝකයෙහි යම් දක්ෂීණාර්හයෝ වෙද් ද, මොවුන් විෂයෙහි දෙන ලද්දාහු සරු කෙතක වපුල බිජුවට මෙන් මහත්ඵල වෙත්.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍ය්‍ය පහළ කළේ ය.

 

නිදුකාණන් වහන්ස, දීම මැනවි මඳක් ඇති කල්හි දීමත් මැනවි, සැදැහැයෙන් දීමත් මැනවි, දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තෝරා දීමත් මැනවි, තවද ප්‍රාණින් කෙරෙහි සංයමයත් (ප්‍රාණඝාතයෙන් වැළැක්මත්) මැනවි.

 

යමෙක් සත්ත්වයන් නො වෙහෙසමින් හැසිරෙන්නේ පරෝපවාද හේතුවෙන් පව් නො කෙරේ ද, එහි ලා (සත්පුරුෂයෝ) පවට බියසුල්ලාට පසසත්. (පව්කිරීමෙහි) සූරයා නොපසසත්. සත්පුරුෂයෝ උපවාදයන්ට බියෙන් පව් නො කෙරෙත් ම ය. එහෙයිනි.

 

ඉකිබිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

තොප සියල්ලන් විසින්  පර්‍ය්‍යායයෙන් සුභාෂිත ය. වැලි දූ මාගේ (වචනය) ද අසවු:

 

සැදැහැනේ දීම නන් අයුරින් පසස්නා ලදි. දානයට වඩා ධර්ම පදය හෙවත් නිර්වාණය ම ශේෂ්ඨ ය. පෙර ද, ඉතා පෙර ද, නුවණැති සත්පුරුෂයෝ නිවණ ම අවබෝධ කළාහු ය.

 

තෙතිස් වැනි සාධු සූත්‍රය නිමියේ ය.