ආනථපිණ්ඩික සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

 

2.      අනාථපිණ්ඩික වර්ගය

2.2.10

අනාථපිණ්ඩික සූත්‍රය

 

101. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති ආනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:

භික්ෂුසමූහයා විසින් නිති සෙවුනා ලද ධර්මරාජන්වූ බුදුරජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ මය.

කර්මය ද විද්‍යාව ද ධර්මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්ත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.

එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්ෂික ධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්යමාර්ගය හේතු කොට පිරිසිදු වෙයි.

ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ.) පරතෙරට (=නිවනට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ. (සැරියුත් තෙරනුවනට වඩා උත්තරයෙක් නැත.)

අනේපිඬු දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම අතුරුදන් විය. ඉකිබිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඈවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රාත්‍රියෙහි මනා ඡවි වර්ණ ඇති එක්තරා දේව පුත්‍රයෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියේය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දෙව්පුත් තෙමේ මා සමීපයෙහි මේ ගාථා කී ය:

භික්ෂු සමූහයා විසින් නිති සෙව්නා ලද ධර්‍මරාජන් වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේම ය.

කර්ම‍ය ද විද්‍යාව ද ධර්මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්ත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසිදු නො වෙත්.

එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්ෂික ධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්යමාර්ගය හේතු කොට පිරිසිදු වෙයි.

ප්‍රඥයෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවනට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ: (සැරියුත් තෙරනුවනට වඩා විශිෂ්ටයෙක් නැත.)

මහණෙනි, ඒ දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් අනාථපිණ්ඩික දෙව්පුත් වන්නේ ය. අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කෙරෙහි බෙහෙවින් පැහැදුනේ වී ය යි මෙය සැළ කෙළේ ය.

ආනන්ද, මැනවි, මැනවි, ආනන්ද, යම්තාක් තර්කයෙන් දත යුතු නම් තොප විසින් (ඒතාක්) දන්නා ලදී. ආනන්ද, හෙ තෙමේ අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ ම යයි.

අනාථපිණ්ඩික සූත්‍රය නිමියේ ය.