උත්තර සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

 

2.      අනාථපිණ්ඩික වර්ගය

2.2.9.

උත්තර සූත්‍රය

100. මා විසින් මෙසේ අසන ලදි එක් සමයෙක්හි භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ රජගහනුවර කළන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති උත්තර දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවණයම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.

එකත්පසෙක සිටි උත්තර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

ජීවිතය (මරණය කරා) පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) බිය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.

(භගවත්හු:)

ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්පය. ජරාව විසින් (මරණය කරා) පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) බිය මරණයෙහි ලා දක්නා වූ නිවණ පතන පුද්ගල තෙමේ ලොකාමිෂය දුරු කරන්නේ ය.

උත්තර සූත්‍රය නිමියේ ය.