කකුධ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

 

2.      අනාථපිණ්ඩික වර්ගය

2.2.8

කකුධ සූත්‍රය

99. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් වූ මුව වෙනෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවි වර්ණ ඇති කකුධ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අඳුන්වනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි කකුධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:

ශ්‍රමණයන් වහන්ස, සතුටු වහු ද?

ඇවැත්නි, කුමක් ලැබ ද?

එසේ නම් ශ්‍රමණයන් වහන්ස, ශෝක කරහු ද?

ඇවැත්නි, කුමක් දිරා ගියේ ද?

ශ්‍රමණයන් වහන්ස, එසේ නම් නොම සතුටු වහු ද? නොම ශෝක කරහුද?

ඇවැත්නි, එසේ ය.

ශ්‍රමණයන් වහන්ස, කිම, ඔබ වහන්සේ නිදුක් ද? කිම, ඇල්මෙක් නැද්ද? කිම, අරතිය හුදෙකලා ව හුන් ඔබ වහන්සේ නො මඬී ද?

(භගවත්හු:)

යක්ෂය, ඒකාන්තයෙන් මම නිදුක් වෙමි. ඇල්මෙකුත් නැත. තව ද, අරතිය එකලා ව හුන් මා නො මඩියි.

(දෙව්පුත්:)

ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේ කෙසේ නිදුක් සේක් ද? ඇල්මෙක් කෙසේ නො වේ ද? අරතිය එකලාව හුන් ඔබ වහන්සේ කෙසේ නො මඩී ද?

(භගවත්හු :)

හටගත් දුක් (වටදුක්) ඇත්තහුට ඒකාන්තයෙන් ඇල්ම වේ. හටගත් ඇල්ම ඇත්තහුට ඒකාන්තයෙන් දුක වේ. ඇවැත්නි, මහණ තෙමේ ඇලුම් තැත්තේ ය, දුක් නැත්තේ යයි මෙසේ දනුව.

(දෙව්පුත්:)

ලොව තෘෂ්ණාව තරණය කළ ඇලුම් නැති දුක් නැති පිරිනිවි බාහිතපාපී වූ මහණකු ඒකාන්තයෙන් කලෙකින් දකිමි.

කකුධ සූත්‍රය නිමියේ ය.