නන්දන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

 

2.      අනාථපිණ්ඩික වර්ගය

2.2.4

නන්දන සූත්‍රය

95. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි නන්දන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්ණ ඇත්තේ, මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි නන්දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

පතුළ නුවණැති ගෞතමයන් වහන්ස, මුබ වහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්සේගේ ඥාන දර්ශනය ආවරණරහිතය. කෙබන්දහු ‘සිල්වතැ’යි කියද්ද? කෙබන්දහු නුවණැති යැ යි කියද්ද? කෙබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණය කෙරේ ද? කෙබන්දහු දෙවියෝ පුදද්ද?

(භගවත්හු:)

යමෙක් සිල්වත් ද, නුවණැත්තේ ද, වඩන ලද සිත් ඇත්තේ ද, සමාහිත වේ ද, ධ්‍යානයෙහි ඇලුනේ ද, සිහි ඇත්තේ ද, ඔහුගේ සියලු ශෝකයෝ පහ වූවාහු ද, ප්‍රහීණ වූවාහු ද, ක්ෂීණ වූ කෙලෙස් ඇත්තේ ද, අන්තිම සිරුර දරණසුලු වේ ද, එබන්දහු සිල්වතැ යි කියත්. එබන්දහු නුවණැතියැ යි කියත්. එබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණ කෙරේ. එබන්දහු දෙවියෝ පුදති.

නන්දන සූත්‍රය නිමියේ ය.