ඛේම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

3. නානාතිත්ථිය වර්ගය

2.3.2.

ඛෙම සූත්‍රය

103. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති ඛේම දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඛේම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:

නුවණ නැති බාලයෝ යම් කර්මයක් නපුරු විපාක ඇත්තේ වේ නම් එබඳු අකුශල කර්ම කෙරෙමින් තමනට සතුරකු වැනි වූ පංචස්කන්ධයෙන් යුක්ත ව හැසිරෙත්.

යම් කර්‍මයක් කොට තැවේ ද? යම් කර්‍මයක්හුගේ විපාකය කඳුළෙන් තෙත් මුහුණු ඇතිව හඬමින් සෙවුනේ ද, එබඳු අකුශල කර්‍ම කරණ ලද්දේ නො මැනවි.

යම් කර්‍මයක් කොට නො තැවේ ද? යම් කර්‍මයක්හුගේ විපාකය පිණා ගියේ මනා සිතැතියේ සෙවුනේ ද, එබඳු කර්‍මය කරණ ලද්දේ මැනවි.

(භගවත්හු:)

යමක් තමහට හිතයයි දන්නේ නම් එය පළමු කොට ම කරන්නේ ය. නුවණැති ධෘතිසම්පන්න පුද්ගල තෙමේ සාකටිකචෙතනායෙන් තැත් නො කරන්නේ ය.

ගැල්කරු තෙමේ යම්සේ සම මග වූ මහමඟ හැර විෂම මගට නැඟී සුන් අකුරු ඇත්තේ බලවත් සිතිවිලි සිතා ද,

මඳ නුවණැති පුද්ගල තෙමේ එපරිද්දෙන් දහමින් ඉවත්ව අධර්‍මයට බැස ගෙණ මරුමුවට පැමිණියේ සුන් අකුරු ඇත්තකු මෙන් සිතිවිලි සිතයි.

ඛේම සූත්‍රය නිමියේ ය.