ජන්තු සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

3. නානාතිත්ථිය වර්ගය

2.3.5.

ජන්තු සූත්‍රය

106. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක කෙසොල් දනව්වෙහි හිමවත් පෙදෙස  වනකිළියෙක උඩනු වූ නගා ගත් මාන නළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා වූ සිහි ඇති මනා නුවණ නැති නොඑකඟ සිත් ඇති නොසන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු වෙසෙත්.

එකල්හි ජන්තු දෙව්පුත් තෙමේ පුණුරැසි පොහොය වූ එදින ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට ගාථාවලින් කීය:

පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිතව සෙනසුන් සොයන ගොයුමු සව් වූ මහණහු සුඛජීවි වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක් කෙළවර කළහ.

මම සංඝයාට ඇඳිලි බැඳ කියමි: මෙහි ඇතැම්හු ගම්හි නින්දිත ගම් දෙටුවන් මෙන් තමන් දුක සේ පෝෂණය කළහැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා වළඳමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔවුන් අසරණයෝ ය. සොහොනෙහි දමන ලද මළ සිරුරු බඳු වෙත්.

යම් කෙනෙක් ප්‍රමත්තව වෙසෙත් ද, මා විසින් ඔවුන් සඳහා කියන ලදී: යම් කෙනෙක් අප්‍රමත්තව වෙසෙද්ද, මම ඔවුන්ට නමස්කාර කරමි.

ජන්තු සූත්‍රය නිමියේ ය.