නන්දිවිසාල සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

3. නානාතිත්ථිය වර්ගය

2.3.8.

නන්දිවිසාල සූත්‍රය

109. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති නන්දිවිසාල දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.

එකත්පසෙක සිටි නන්දිවිසාල දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් කීය.

මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. (අශූචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම කෙසේ වන්නේ  ද?

(භගවත්හු:)

රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ ය.

නන්දිවිසාල සූත්‍රය නිමියේ ය.