නානාතිත්ථියසාවක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

3. නානාතිත්ථිය වර්ගය

2.3.10.

නානාතිත්ථයසාවක සූත්‍රය

111. මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක භාගයවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.

එකල්හි නෙයෙක් නොයෙක් තීර්ථකයන්ගේ ශ්‍රාවක වූ මනා ඡවි වර්ණ ඇති අසම ද සහලිද නිඞ්ක ද ආකොටක ද වෙටම්බරි ද මානවගාමිය ද යන බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි අසම දෙව්පුත් තෙමේ පූරණකාශ්‍යප ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

කසුප් ශාස්තෘ තෙමේ සිඳීමෙහි ද මැරීමෙහි ද පෙළීමෙහි ද ධනහානි යෙහි ද තමහට පවක් හෝ පිණක් හෝ නො දකියි. හෙ තෙමේ ඒකාන්තයෙන් විශිවාසය කී ය. (එහෙයින්) බුහුමනට සුදුසු ය.

ඉක්බිති සහලී දෙව්පුත් තෙමේ මක්ඛලීගොසාල ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

(කය පෙළන) තපසින් හා පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වූ හෙ තෙමේ ජනයා සමඟ කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුලු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තයෙන් පවක් නොම කෙරෙයි.

ඉක්බිති නිඞ්ක දෙව්පුත් තෙමේ නිගණ්ඨනාතපුත්‍ර ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

පවට පිළිකුල් කරණ නුවණැති සසර භය දක්නා චාතුයාමසංවරයෙන් යුත් (නිඝණ්ඨනාථපුත්‍ර තෙමේ) දක්නා ලද්ද ද, අසන ලද්ද ද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නො ම වන්නේ ය.

ඉක්බිති ආකොටක දෙව්පුත් තෙමේ නොයෙක් තීර්ථකයන් ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

පකුධකාත්‍යායන තෙමේ ද  නිගණ්ධනාතපුත්‍ර තෙමේ ද යම් මේ මක්ඛලීගොසාල පූරණකස්සප දෙදෙනා ද යන ගණයාට ශාස්තෘ වු මහණ‍කමෙහි කෙළ පැමිණි ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් දුර නොවෙත්.

ඉක්බිති වෙටම්බරී දෙව්පුත් තෙමේ ආකොටක දෙව්පුත්හට ගාථායෙන් පෙරළා කී ය.

කොන්ථුක නම් වූ ලාමක කළුසිවල් තෙමේ එක් ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයකු හා සම නොවේ. එහෙයින් නග්න වූ බොරු කියන සුලු වූ සැක කටයුතු හැසුරුම් ඇති ගණශාස්තෘ තෙමේ බුද්ධාදි සත්පුරුෂයන්ට සම නො වේ.

ඉක්බිති පවිටු මාර තෙමේ වෙටම්බරී දෙව්පුත්හට ආවිෂ්ට ව භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

තපසෙහි ද පවට පිළිකුල් කිරීමෙහි ද විවේක බව රකින රූපයෙහි පිහිටි යම් කෙනෙක් දෙව්ලොව පතත් ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පරලොව පිණිස මැනවින් අනුශාසනා කෙරෙත්.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා ය යි මෙසේ දැන පවිටු මාරයා හට ගාථායෙන් පෙරළා වදාළ සේක:

මෙලොව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද, මාරය, ඒ සියල්ලෝ තා විසින් පසස්නා ලදහ. මසුන් මැරීම පිණිස ලූ ඇමක් මෙනි.

ඉක්බිති මානවගාමිය දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.

රජගහනුවර පර්‍වතයන්ට වෛපුල්‍යපර්වතය ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ. හිමවත් පර්වතයන්ට කෛලාසය ශ්‍රේෂ්ඨ ය. අහසෙහි යන්නවුන්ට සූර්‍ය්‍යයා ශ්‍රේෂ්ඨ ය.

ජලාසයනට මුහුද ශ්‍රේෂ්ඨ ය. නැකැත්තරුවලට සඳ ශ්‍රේෂ්ඨ ය. දෙවියන් සහිත ලෝකයා හට බුදුරජානන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ යි කියනු ලැබේ.

නානාතිත්ථියසාවක සූත්‍රය නිමියේ ය.