රෝහිතස්ස සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

3. නානාතිත්ථිය වර්ගය

2.3.6.

රෝහිතස්ස සූත්‍රය

107. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති රෝහිතස්ස දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රෝහිතස්ස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:

 “වහන්ස, යම් තැනක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, ව්‍යුත නො වේ ද, නො හට ගණී ද, වහන්ස, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දැන ගන්නට හෝ දක්නට හෝ පැමිණෙන්නට හෝ හැක්කේ දැ?”යි.

ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, ව්‍යුත නොවේ ද, නො හට ගණී ද, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දත හැකි ය, දැක්ක හැකිය, පැමිණිය හැකිය යි මම නො කියමි.

වහන්ස, ආශ්චර්යයෙකි, වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද,  නො දිරා ද, නොමියේ ද, ව්‍යුත නො වේ ද, නොහට ගනී ද, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දත හැකි ය දැක්ක හැකිය පැමිණිය හැකිය යි මම නො කියමි”යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද්දේම ය.

පෙර වූවක් කියමි. වහන්ස, මම භෝජපුත්‍ර වූ සෘද්ධි ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් වීමි. වහන්ස, ඒ මට දැඩිදුනු ඇති පුහුණු වූ කළ පුරුදු ඇති කළ තරඟ ඇති දැක්වූ ශිල්ප ඇති දුනුවායෙක් සැහැල්ලු ඊතලයෙකින් තල්සෙය සරස නිදුකින් ම යම්සේ ඉක්මවන්නේ ද, එබඳු ජවයෙක් විය.

වහන්ස, ඒ මට පෙරදිග මුහුදින් අපරදිග මුහුද යම්සේ දුර ද, එබඳු පා තැබීමෙක් වී ය, වහන්ස, ඒ මට “මම පා ගමනින් ලොව කෙළවරට පැමිණෙන්නෙමි”යි මෙබඳු ආශායෙක් උපන.

වහන්ස, ඒ මම මෙබඳු ජවයෙන් යුක්ත වූයෙම් මෙබඳු පදවීතිහාරයෙන් යුක්ත වූයෙම් සියවසක් ආයු ඇත්තෙම් සියවසක් ජීවත් වන සුලු වූයෙම් කන බොන බුදින රස විදින වෙලාවන් හැර මල මූ පහ කරණ වෙලාවන් හැර නිදන විඩා හරින වෙලාවන් හැර සියවසක් ගමන් කොට ලොව කෙළවරට නො පැමිණ ම අතරමගදී ම කලුරිය කෙළෙමි.

වහන්ස, ආශ්චර්යයයෙකි, වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නොමියේ ද, ව්‍යුත නොවේ ද, නැවත නො හටගනී ද, ලෝකයේ ඒ කෙළවර පා ගමනින් දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකිය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද්දේ මය.

ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝක සමුදයයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිණි පටිපදාවත් පණවමි.

පාගමනින් කිසිකලෙක ලොව කෙළවර නො පැමිණිය හැක්කේය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.

එහෙයින් ලොව දන්නා මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවු මගබඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර  දැන මෙ ලොව ද පර ලොව ද නො පතයි.

රෝහිතස්ස සූත්‍රය නිමියේ ය.