සේරී සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

3. නානාතිත්ථිය වර්ගය

2.3.3.

සෙරී සූත්‍රය

104. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි මනා ඡවි වර්ණ ඇති සේරී දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සේරී දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:

දෙව් මිනිස් දෙකොටස ආහාරය ම පතත්. යම් හෙයකින් ආහාරය නො පතා නම් ඒ කවර නම් සත්ත්වයෙක් ද?

(භගවත්හු:)

යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.

එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වේ.

වහන්ස, ආශ්චර්යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරන ලද්දේ මය:

“යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.

එහෙයින් මසුරුමල මැඬලනසුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරන ලද්දේම ය.

පෙර වූවක් කියමි. වහන්ස, මම දායක වූ දානපති වූ දීමෙහි ගුණ කියන සේරි නම් රජෙක් වීමි. වහන්ස, ඒ මාගේ (නුවර) සිවු දොරටුවෙහි මහණ බමුණු දුගී මගී වණිබ්බක යාචකයන්ට දන් දෙනු ලැබී ය. වහන්ස, එකල්හි අන්ත:පුරය මා‍ වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් ම දෙනු ලැබේ. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කී ය.

වහන්ස, ඒ මට “මම වනාහි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම පළමු වන දොරටුව අන්ත:පුරයට දිනිමි. එහි ඇතොවුරන්ගේ දන් දෙනු ලැබී ය. මාගේ දානය වැළකුණේ ය.

වහන්ස, ඉක්බිති සහකාර ක්ෂත්‍රියයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්ත:පුරයාගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය මට කීහ.

වහන්ස, ඒ මට “මම වූ  කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම දෙවන දොරටුව සහකාර ක්ෂත්‍රියයන්ට දිනිමි. එහි සහකාර ක්ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.

වහන්ස, ඉක්බිති බල සෙනඟ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්ත:පුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.

වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් ද”යී මේ අදහස විය. වහන්ස, ඒ මම තෙවන දොරටුව බල සෙනඟට දිනිමි. එහි බල සෙන්හුගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.

වහන්ස, ඉක්බිති බමුණු ගැහැවියෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්ත:පුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්ෂත්‍රියයන්ගේ දන්දෙනු ලැබේ. බල සෙන්හුගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම්, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.

වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම සිවුවන දොරටුව බමුණු ගැහැවියන්ට දිනිමි. එහි බමුණු ගැහැවියන්ගේ දන් දෙනු ලැබීය. මගේ දානය වැළකුණේ ය.

වහන්ස, ඉක්බිති රාජපුරුෂයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දානයක් දැන් කිසි තැනෙක නොදෙනු ලැබේ ය”යි මෙය කීහ.

වහන්ස, මෙසේ මම කියන ලදුයෙම් ඒ පුරුෂයන්ට “සගයෙනි, එසේ නම් පිටත දනවුවල යම් අයෙක් උපදී ද? එයින් අඩක් ඇතොවුර කෙරෙහි යවවු. අඩකින් එහි ම මහණ බමුණු දුගී මගී වණිබ්බක යාචකයන්ට දන් දෙව් ය”යි මෙය කීයෙමි.

වහන්ස, ඒ මම මෙසේ දිගුකලක් මුළුල්ලේ කළ පින්කම්වල මෙසේ දිගුකලක් කළ කුසල්වල පින මෙතෙකැයි කියා හෝ පූණ්‍ය විපාකය මෙතෙකැයි කියා හෝ මෙපමණ කලක් සගෙහි සිටිය යුතු යයි කියා හෝ කෙළවරක් නො දනිමි.

වහන්ස, ආශ්චර්යයයෙකි! වහන්ස, අද්භූතයෙකි!! වහන්ස, “යම් කෙනෙක් සැදැහැයෙන් පහන් සිතින් ඒ ආහාරය දෙද් ද? මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය. එහෙයින් මසුරු මල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරන ලද්දේම ය.

සේරී සූත්‍රය නිමියේ ය.